වත්මන් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පසුගියදා අධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන්, එම විනිසුරුවරුන්ව පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගෙන්වන ලෙස, කතානායකවරයාගෙන් කළ ඉල්ලීම විජේදාස රාජපක්ෂ විසින් ඉල්ලා අස්කරගෙන තිබෙනවා, ඔහු පාර්ලිමේන්තුවට කියා සිටියේ ඒ පිලිබදව අධිකරණ සේවා සංගමයෙන් නිරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත්කර තිබෙන නිසා අදාල විනිසුරුවරුන් දෙදෙනාව පාර්ලිමේන්තුවට ගෙන්වීමට අවශ්‍ය නොවන බවයි.

ඉහත අධිකරණ විනිසුරුවරුන් කළා යැයි කියන ප්‍රකාශය පිළිබඳව විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළ එම විනිසුරු වරුන්ට එරෙහිව විවිධ චෝදනා රැසක් එල්ල කළ අතර ඔහු කතානායකවරයාගෙන් ඉල්ලා සිටියේ එම විනිසුරුවරුන් දෙදෙනා පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුවට ගෙන්වන ලෙසයි. ඉන්පසු අධිකරණ සේවා සංගමය අධිකරණ අමාත්‍යවරයාගේ එම ප්‍රකාශය පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටයේ අපක්ෂපාති විනිසුරුවරුන් අපකිරිතියට පත්කිරීමේ ව්‍යාපෘතියක් කොටස් වශයෙන් ක්‍රියාත්මක වෙමින් පවතින බවත් යුක්තිසහගතව තම සේවය ඉටුකරන විනිසුරුවරුන් පාර්ලිමේන්තුව තුළ විවේචනය කිරීම එම ව්‍යාපෘතියේම කොටසක් බවයි.

එම නිවේදනය නිකුත් කළ අධිකරණ සේවා සංගමයේ සභාපතිවරයා වශයෙන් වත්මන් අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා කටයුතු කරන අතර එම නිවේදනය අත්සන් තබා තිබෙන්නේද එතුමා විසිනි, එම සංගමයේ සෙසු නිලධාරින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු  විජිත් කේ මලල්ගොඩ මහතා සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආර් අමරසේකර මහතාද කටයුතු කරනවා.

මේ පිළිබඳව අධිකරණ සේවා සංගමය විසින් කතානායකවරයාට නිරීක්ෂණ වාර්තාවක්ද ඉදිරිපත් කර ඇති අතර එම නිරීක්ෂණ වාර්තාවේ අධිකරණ අමාත්‍යවරයා අදාල සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සභාගත කළ ලිපි ලේඛන පිළිබඳවද අවධානය යොමුකර තිබෙන අතරම එම නිරීක්ෂණ වාර්තාව මගින් පෙන්වා දෙන්නේ අධිකරණයේ කටයුතු ස්වාධීනව කරගෙන යාමට විධායකයත් ව්‍යවස්ථාදායකයත් නිදහස ලබාදිය යුතු බැවයි.