ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ඉදිරි සති දෙක ඇතුළත ප්‍රකාශයට පත්කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක පවසයි.

මැතිවරණ දිනය සම්බන්ධයෙන් සාකච්ඡා පසුගිය සතියේ ආරම්භ කළ අතර ජනාධිපතිවරණයට පොලිස්පති සහ අදාළ කටයුතු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණාලාධිපතිනිය, තැපැල්පති ඇතුළු ප්‍රධානීන් ලබන සතියේ කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි කොමිෂන් සභා සභාපතිවරයා පවසා ඇත්තේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය ලබන 17 වැනිදායින් පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමිවන අතරම 2024 ඡන්ද හිමි නාම ලේඛනය සහතික කිරීමද ලබන සතියේදී සිදුකරන බව සභාපතිවරයා පවසා තිබේ.

එම කෙටුම්පත කොමිසමේ වෙබ් අඩවියට දැනටමත් ඇතුළත් කර ඇතැයි ද කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණය සැප්තැම්බර් 17 සහ ඔක්තෝබර් 16 අතර කාලයේදී පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව මීට පෙර නිවේදනය කළේය.