එදා මහින්ද රාජපක්ෂ පාලන සමයේදී යුද්ධය දිනූ වීරයා මහින්ද රාජපක්ෂ බව පවසමින් එම ආණ්ඩුවේ මැතිඇමැතිකම් දැරූ කරුණා අම්මාන් මේ වනවිට යුද්ධය අවසන් කළ වීරයා රනිල් වික්‍රමසිංහ බව සදහන් කරමින් රට වටේ ගොස් රනිල් වික්‍රමසිංහ රටේ ජනාධිපති කිරීමට සුදානම් බව පවසා තිබෙනවා. මීට අමතරව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසෆ් පරරාජසිංගම් ඝාතන නඩුවේ ප්‍රධාන සැකකරුවෙකු වූ පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ද එළඹෙන මැතිවරණයකදී රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට කටයුතු කරන බවයි ඉකුත් 22 දින ඔහු සඳහන් කර තිබුනේ.

පසුගිය දිනයකදී නැඟෙනහිර පළාතේ ක්‍රියාත්මක පිල්ලෙයාන්ගේ කණ්ඩායම් සතුව තවමත් නීතිවිරෝධී ආයුධ තොග පවතින බව ඊරොස් හෙවත් ඊළාම් විප්ලවීය ශිෂ්‍ය සංවිධානයේ නායක ආර්. ප්‍රභා පැවැසීය.

යුද්ධය අවසන් කිරීමේ ගෞරවය රනිල් වික්‍රමසිංහට ලැබිය යුතු බවත්, එළඹෙන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට සහයෝගය දෙන බවත් පවසන කරුණා අම්මාන් හට, පසුගිය කාල වකවානුවේදී මහින්ද රාජපක්ෂට සහාය පළ කිරීම හේතුවෙන් ශ්‍රීලනිපයේ උප සභාපති ධූරය පවා ලබා දීමට මහින්ද රාජපක්ෂ කටයුතු කොට තිබිණ.

තිස් වසරක් තුළ සිංහල දෙමළ ජනතාව 70000කට අධික සංඛ්‍යාවක් ඝාතනයට ලක්කළ සහ ජනතාව විශාල වශයෙන් පීඩනයට පත්කළ කොටි සංවිධානයේ ළමා සොල්දාදුවෙක් ලෙසින් 1990, අප්‍රේල් 4 දිනදී වයස අවුරුදු 14 ක් වූ චන්ද්‍රකාන්තන් එම සංවිධානයට බඳවාගනු ලැබුවේ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසිනි. මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කයන්හී දෙමළ කොටි සංවිධානයෙහි එකල දිස්ත්‍රික් නායකයෙක් වූ විනයාගමුර්ති මුරලිදරන්, හෙවත් කර්නල් කරුණා අම්මාන් යටතේ සේවය කිරීමටද පිල්ලෙයාන් හෙවත් සිවනේසතුරේ චන්ද්‍රකාන්තන් සමත් විය.