ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (IMF) බවත් එම නිසා ආණ්ඩුවට ආර්ථික උපදේශකවරු අවශ්‍ය වන්නේ නැති බවත් ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන සියලු දේ සිදුකරනවානම් ආණ්ඩුවට ආර්ථික උපදේශකවරු අවශ්‍ය වන්නේ නැති බවත් ඔවුන්ට වැටුප් ගෙවමින් නඩත්තු කිරීමේ කිසිදු ප්‍රයෝජනයක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කිරීමට සමගි ජනබලවේගයට වැඩපිළිවෙළක් තිබෙන බවත් රටේ ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු සෙවීමට දක්ෂ ආර්ථික කණ්ඩායමක් සිටින බවත් රටේ ආර්ථිකය ගොඩගන්න විකල්ප වැඩසටහන් සමගි ජනබලවේගයට තිබෙන බවත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උදව්වෙන් යම් ආර්ථික ස්ථාවරයක් රට තුළ තිබුණත් රටේ දේශපාලන ස්ථාවරභාවයක් නැති බවත් රහුමාන් මහතා කීය.

ජනාධිපතිවරයා වෙනුවෙන් රජය ඉදිරිපත් කර තිබෙන පරිපූරක ඇස්තමේන්තුව මගින් ජනාධිපතිවරණ කටයුතු සඳහා මුදල් වැයකරන්නේ දැයි මැතිවරණ කොමිසමන් සභාව පරීක්ෂණයක් සිදුකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (13) පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා මේ බව සඳහන් කළේය.

මුජිබර් රහ්මාන් මන්ත්‍රීවරයා මේ පිළිබඳව වැඩිදුරටත් දැක්වූ අදහස්,

යම් ආර්ථික ස්ථාවරයක් රට තුළ තිබුණත් රටේ දේශපාලන ස්ථාවරභාවයක් නෑ

”ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සියලු කොන්දේසි වලට යටත් වුණා. රටේ ජනතාව පීඩාවට පත් වන ආකාරයේ කොන්දේසි වලට ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ එකඟ වෙලා තිබෙනවා. ජනතාව පීඩාවට පත් නොවන ආකාරයේ කොන්දේසි වලට ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ආණ්ඩුව එකඟ වෙලා නෑ. නමුත් රාජ්‍ය දුෂණය අවම කරගන්න ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ඉදිරිපත් කළ කොන්දේසි වලට ආණ්ඩුව එකඟවෙලා නෑ. ඒ කොන්දේසි ක්‍රියාත්මක කරන්න කටයුතු කරලත් නෑ.

රට තුළ තවම වංචා දුෂණ වන බවට වන හොදම උදාහරණය තමයි ආණ්ඩුව සිදුකළ බිලියන ගණනක VFS ගනුදෙනුව. එක් සංචාරක විසා අයැදුම් පත්‍රයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 1 ක මුදලක් වැයවන බවට මොබිටෙල් සමාගම යෝජනා ලබාදී තිබිය දී එම කටයුත්ත සඳහා ඩොලර් 25 ට සිදුකරන්න වී. එෆ්. එස්. වර්ල්ඩ් වයිඩ් හෝල්ඩින්ග්ස් සමාගමට ලබාදෙන්න රජය කටයුතු කරලා තිබෙනවා. රජය ආර්ථික සහ පෞද්ගලිකරණය වෙනුවෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සමඟ එකඟ වුණත් රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ලබාදී ඇති කොන්දේසි සමඟ එකඟ වෙන්න රජය කටයුතු කරලා නෑ. රාජ්‍ය පාලනයේදී විනිවිද භාවයකින් කටයුතු කිරිම සහ වංචා දූෂණ අවම කරගෙන රාජ්‍ය පාලනය කළ යුතුයි යන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කොන්දේසි සඳහා ආණ්ඩුව උනන්දුවක් දක්වන්නේ නෑ.

ආණ්ඩුවේ ආර්ථික උපදේශකවරයා වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල. ඒ නිසා ආණ්ඩුවට ආර්ථික උපදේශකවරු අවශ්‍ය වන්නේ නෑ. ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන සියලු දේ සිදුකරනවානම් ආණ්ඩුවට ආර්ථික උපදේශකවරු අවශ්‍ය වන්නේ නෑ. ඔවුන් වැටුප් ගෙවමින් නඩත්තු කිරිමේ කිසිදු ප්‍රයෝජනයක් නෑ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ගනුදෙනු කරන්න සමගි ජනබලවේගයට වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වගේම රටේ ආර්ථික ප්‍රශ්න වලට පිළිතුරු සොයාගන්න දක්ෂ ආර්ථික කණ්ඩායමක් සිටිනවා. රටේ ආර්ථිකය ගොඩගන්න විකල්ප වැඩසටහන් තිබෙනවා. ජනතා විශ්වාසය නැති වර්තමාන පාලකයන්‌ව පලවා හරින්නේ නැතිව මේ රට ගොඩ ගන්න බෑ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උදව්වෙන් යම් ආර්ථික ස්ථාවරයක් රට තුළ තිබුණත් රටේ දේශපාලන ස්ථාවරභාවයක් නෑ. රටේ ආර්ථික ස්ථාවර හදන්න දේශපාලන ස්ථාවරය තිබිය යුතුයි. ”