මාසකට ආසන්න කාලයක් පුරා දැනට ක්‍රියාත්මක විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයන්ගේ අඛණ්ඩ වෘත්තීය ක්‍රියමාර්ගය තුළින් රට පුරා විශ්වවිද්‍යාවල වැඩකටයුතු අඩාල වී ඇති නිසා මේ ගැටලු නිරාකරණය කර විශ්වවිද්‍යාල කටයුතු සාමාන්‍ය පරිදි පවත්වා ගැනීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ ස්ථාවර නියෝග 27 (2) යටතේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් මුහුණ දෙන ගැටලු රැසක් පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කරමිනි.

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයන් ගෙන ඇති අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියමාර්ගය නිසා කඩා වැටී ඇති විශ්වවිද්‍යාල නැවත නගා සිටුවීමට රජය තවමත් උත්සාහ නොදරන්නේ ඇයි? සහ 4/ 2016/1 කළමනාකරණ සේවා චක්‍රලේඛය මඟින් හදුන්වා දුන් වැටුප් සංශෝධනය හරහා විශ්වවිද්‍යාල පද්ධතියේ අභ්‍යන්තර වැටුප් විෂමතාවට වඩා වැටුප් කප්පාදුවක් කර ඇති බවට වෘත්තීය සමිති පෙන්වා දෙන බැවින් ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

තවදුරටත් කමිටු පත් කර නිශ්චිත විසදුමක් ලබා දීම කල් යැවීම වෙනුවට මෙම ගැටලුව නිශ්චිතව විසඳන කාලය දැන ගැනීමට අවශ්‍ය බවත් ඊට අමතරව මොවුන් වෙත 2015 වසරේ සිට ලබා දෙන මාසික හිලව් දීමනාව 25%කින් වැඩි කරන ලෙස ඉල්ලා සිටින බැවින් ඒ සම්බන්ධයෙන් රජයේ ප්‍රතිචාරය දැන ගැනීමට අවශ්‍ය බවත් මේ නිසා උපාධි ප්‍රදානය කිරීම් ප්‍රමාද වීම නිසා රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය අපේක්ෂාවෙන් සිටින අයට හානියක් වන බැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුවිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

එමෙන් ම 4/ 2016/1 චක්‍රලේඛය හරහා සමස්ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් දීමනා 107%කින් වැඩි වන විට විශ්වවිද්‍යාල අනධ්‍යයන ක්ෂේත්‍රයේ 15% පමණ වැටුප් කප්පාදුවක් සිදුවන බවත් ඔවුන්ට ලැබෙන්නේ 92%ක වැටුප් වැඩිවීමක් බවත් මේ ගැටලුව අවබෝධ කර ගත යුතු බවත් ලක්ෂ්මන් කිරිඇල්ල, කබීර් හෂීම්, රවුෆ් හකීම් හා මංගල සමරවීර යනාදී අමාත්‍යවරු මේ සම්බන්ධ නිර්දේශ ක්‍රියාත්මක කරන්න කටයුතු කළත් ආණ්ඩු මාරුවීමත් සමඟ එය හරියට සිදු නොවූ බැවින් මේ අසාධාරණය සහ දුක් ගැනවිලි විසදා දෙන ලෙස ඉල්ලා සිටියේය.