මේ වසරේ සැප්තැම්බර් 15 සහ ඔක්තෝබර් 17 අතර කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව දැනටමත් නිවේදනයක් නිකුත් කර ඇති පරිදි ව්‍යවස්ථානුකූල ප්‍රතිපාදනවලට අනුකූලව මෙවර ජනාධිපතිවරණය පැවැත්වෙන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අවධාරණය කර සිටිනවා.

කොළඹ ජාතික පුස්තකාල මණ්ඩලයේ අද (29) දිනයේ පැවති මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ ජීවිතය හා සාහිත්‍ය අංශය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන මහතා කියා සිටියේ  ජනාධිපතිවරණ සහ මහ මැතිවරණ කල්දැමීම පිළිබඳ යෝජනා ප්‍රතික්ෂේප කරන බවත් කිසිම අවස්ථාවක ආණ්ඩුව හෝ පාලක සන්ධානය සාකච්ඡා නොකළ යෝජනා ඉදිරිපත් කිරීම වැරදි ක්‍රියාවක් බවත්ය.

මේ අවස්ථාවේදී දිනේෂ් ගුණවර්ධන මහතා වැඩිදුරටත් දැක්වූ අදහස්,

“ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කළ දවසේ අපි ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීමට පියවර ගත්තා. පාර්ලිමේන්තුව විනාශ කරන්න හදපු මිනිස්සු එලවලා බහු පක්ෂ ආණ්ඩුවක් රටේ හැදුවා. ඒක අමතක කරන්න එපා. ගොඩනැගුණේ ප්‍රජාතන්ත්‍රවාදය පමණක් නොවේ. උත්තරීතර පාර්ලිමේන්තු ක්‍රමය සහ ජනවරම ඉදිරියට ගෙන යමින් රටේ සංවර්ධනය සඳහා පිළිගත් මැතිවරණ නීතියට අනුව පියවර ගෙන තිබෙනවා. මැතිවරණ නීති වෙනස් කිරීම සඳහා අනුගමනය කිරීමට ඉතා අපහසුයි එයට තුනෙන් දෙකක බලයක් අවශ්‍යයි. නැතිනම් ලබන අගෝස්තු මාසය දක්වා පාර්ලිමේන්තුව පැවැත්විය හැකියි. අවශ්ය නම්, එය කලින් විසුරුවා හැරිය හැක. නැතහොත් ඔවුන් විසින්ම එය විසුරුවා හැරිය හැකිය. එහෙම කරන්න ව්‍යවස්ථාවේ ක්‍රමවේදයක් තියෙනවා.”