මේ වන විට අප රටේ නිෂ්පාදකයාට, පාරිභෝගිකයාට, ආදායමට පවා බදු අය කරන බවත් ඉපදීම, විවාහය සහ මරණයට පමණක් මේ වන විට බදු අය නොකරන බවත් මෙවැනි බදු වෙනුවට විකල්ප රාශියක් ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආර්ථිකය වර්ධනය කරන්න රජයට වැඩපිළිවෙළක් නොමැති නිසා බදු ගසන බවත් ඔවුන්ට ඇත්තේ ආර්ථිකය සංකෝචනය කරන වැඩපිළිවෙළක් බවත් මෙවැනි සංකෝචනය වූ ආර්ථියකට සීමා සහිත ආදායම් ඇති නිසා රටේ ආදායම් වැඩි කර ගැනීමට බදු ගැසීම සිදු කරන බවත් මේ රටේ ප්‍රශ්නවලට විසඳුම පැය 24ම, දිනපතාම, මොහොතින් මොහොත තත්පරයෙන් තත්පරය බදු ගැනීම නොව ආර්ථික වර්ධනයක් ඇති කිරීම බවත් එම ආර්ථික වර්ධනයේ ප්‍රතිලාභ හැමෝටම බෙදිය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (25) අනුරාධපුර කැකිරාව මුස්ලිම් මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 199 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

මේ ආර්ථික වර්ධනයට සැවොම ඇතුළු විය යුතු වුවත් අද වන විට බංකොලොත් රටේ ලුම්පන් ධනවාදය ක්‍රියාත්මක බවත් පගාව, අල්ලස, දූෂණය, කොමිස් මුදල් ආදිය ලබා දෙන බවත් මේ ක්‍රමය නැති කර දැමිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

අපි ගාව හොරකම, වංචාව, කොමිස් මුදල් නැහැ

අද රටේ ක්‍රියාත්මක වන හොරකම, දූෂණය, වංචාව, ගසාකෑමේ හොරකම් සූත්‍රයෙන් පරිබාහිරව මෙම සක්වල වැඩසටහන ක්‍රියාත්මක වන නිසා සම්පත් දායකයන් විශාල ප්‍රමාණයක් මේ වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට සූදානමින් සිටින බවත් 10%, 20% කොමිස් ගැහිලි මෙහි දී සිදු නොවන බවත් ධානපතියා සහ සැපයුම් ආයතනය අතර සෘජු සම්බන්ධතාවයකින් මෙම භාණ්ඩ ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බහුතරයක් සක්වල අගය කරන විට කුහක සුළුතරයක් එය විවේචනය කරනවා

මේ නිසා ජාති, ආගම්, පන්ති, පක්ෂ භේද නොසලකා බහුතරයක් මේ වැඩසටහන අගය කළත් සුළුතරයක් වැඩ බැරි කයිය නායකයෝ කොට්ඨාසයක් මෙය විවේචනය කරමින් සිටින බවත් ඔවුන්ගේ රැස්වීම්වලට වියදම් කරන කෝටි ගණන් මුදල් පාසල්වලට දුන්නා නම් මීට වඩා යහපත් වුවත් ඔවුන් සිදු කරන්නේ රාජ්‍ය නිදහස් අධ්‍යාපනය පහළ මට්ටමකට දැමීම බවත් එයට හේතුව පෞද්ගලික පාසල් ජාත්‍යන්තර විශ්වවිද්‍යාවල ඉගෙන ගන්නා ඔවුන්ගේ දරුවන් හා රජයේ පාසල්වල දරුවන් සමවේය යන කුහක සිතුවිල්ල බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

රටට අවශ්‍ය වැඩ මිස කයිය නොවේ

මේ ඊර්ෂයාව, කුහකකම නිසා මේ අය සුහුරු උපකරණ ලබා නොදීම මෙන්ම එම වැඩසටහන් කරන අයට අපහාස කරමින් බස් මෑන්, බෙදන මෑන් යනුවෙන් කතා කියන බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ බංකොලොත් අප රටට අවශ්‍ය වැඩ, සේවය මිස කයිය නොවන බවත් ය.

තමන්ගේ දරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනයක් ලබා දී රටේ අධ්‍යාපනයේ වෙනසක් සිදු කිරිමට යන විට එයට විරුද්ධව ජනතාවට මහ පාරට බස්සන්නේ මේ කයිය නායකයෝ බවත් රටේ ජනතාවට ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනය නුසුදුසු වුවත් කයිය නායකයන්ගේ දරුවන්ට එවැනි ජාත්‍යන්තර මට්ටමේ අධ්‍යාපනය කැප වී ඇති බවත් මෙවැනි දෙබිඩි ප්‍රතිපත්තියක් සමගි ජන බලවේගයට නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 199ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2208ක් වැය කර තිබේ.