අප රට ගොඩනගන්න නම් ජන සමාජය තුළ, රාජ්‍ය තන්ත්‍රය තුළින් දූෂණය ඉවත් කළ යුතු බවත් දූෂණය වංචාව හොරකම මංකොල්ලකෑම පිටුදකින ක්‍රමවේදයක් ගෙන ආ යුතු බවත් හොරු අල්ලන්න බලය දෙන්න කියා ඉල්ලනවා වෙනුවට බලයක් නොමැතිව විපක්ෂයේ සිට හොරු ඇල්ලුවේ සමගි ජන බලවේගය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දූෂණ විරෝධී වැඩසටහන් රටේ අණපනත්වලට සීමා නොවී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර වෙනස් කළ නොහැකි යාන්ත්‍රණයක් සකස් විය යුතු බවත් එසේ දූෂණය පිටුදැකීම තුළ මෙරට විනාශ කළ සියලු දෙනා නීතිය හමුවට ගෙනවිත් අහිමි වූ සම්පත් දේපල ආදායම අප රටට ලබා ගැනීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා සමගි ජන බලවේගය කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (20) කොළඹ හෝමාගම මීගොඩ ධර්මරාජ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 196 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසලේ නර්තන කණ්ඩායමට ඇඳුම් සපයා ගැනීමට පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය.

රජයේ මුදලින් පමණක් අධ්‍යාපනය ගොඩගන්න බැහැ

අධ්‍යාපනට වෙන් කරන මුදල් වැඩි කිරීමෙන් අධ්‍යාපනයේ ගැටලු විසඳිය නොහැකි බවත් රජයේ අරමුදල් මේ සඳහා ප්‍රමාණවත් නොවන බවත් මේ සඳහා නිර්මාණශීලී වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් තමා වැඩ කරන නායකයෙක් බවත් විපක්ෂයේ සිට තමන්ගේ වැඩපිළිවෙළ කතාවට පමණක් සීමා නොකර මහපොළොවේ යථාර්ථයක් බවට පත් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මම මේ කතා කරන්නේ ඡන්ද මල්ල ගැන හිතල නොවෙයි

තමා මේ කතා කරන්නේ ඡන්ද මල්ල ගැන සිතා නොව 41 ලක්ෂයක් දූදරුවන්ට සාධාරණයක් කිරීමට බවත් බංකොලොත්භාවයෙන් ගොඩ එන්න නම් දැනුම කේන්ද්‍රීය ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවත් ඒ සඳහා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදුවිය යුතු බවත් මේ වෙනස දකින්න අකැමැති හොඳම දේ තමාගේ දරුවන්ට කියන ප්‍රතිපත්තියේ කටයුතු කරන උග්‍ර කොමියුනිස්ට් මාක්ස්වාදී අන්ත සමාජවාදී කණ්ඩායම් සජිත් ප්‍රේමදාසගේ ඉංග්‍රීසි භාෂා විජාතික අධිරාජ්‍යවාදී අධ්‍යාපනය හෙලා දකිමු යැයි ජනතාව පාරට බැස්සවිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙවැනි දේවල්වලට පොළඹවන්නේ මෙරට තුළ සිටින කයිය ගහන නායකයෝ බවත් ඔවුන්ගේ දරුවන් පෞද්ගලික විශ්වවිද්‍යාවල, ජාත්‍යන්තර විශ්වවිද්‍යාල, පෞද්ගලික පාසල්වලට බවත් ඔවුන්ගේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දී රටේ සෙසු දරුවන්ට එම අධ්‍යාපනය ලබා දීම ජාති දේ‍රා්හී වැඩක් වී ඇති නිසා මේ යථාර්ථය අවබෝධ කර ගන්නා ලෙස ඉල්ලා සිටින බවත් දූපත් මානසිකත්වයෙන් තවදුරටත් ඵලක් නොවන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 196ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2173ක් වැය කර තිබේ.