කෙටිම කාලයක් තුළ වැඩිම බොරු කියූ රාජ්‍ය නායකයට හිමි සම්මානය රනිල් වික්‍රමසිංහට ලැබිය යුතු බව චන්දිම වීරක්කොඩි මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රයිගම් සම්මාන උළෙලට සහබාගී වෙමින් පාර්ලිමේන්තුවටත් සම්මානයක් ලැබිය යුතු බවට කල ප්‍රකාශය උපුටා දක්වමින්.

වීරක්කොඩි මන්ත්‍රීවරයා කියා සිටියේ කෙටිම කාලයක් තුළ වැඩිම බොරු කියූ රාජ්‍ය නායකයට හිමි සම්මානය රයිගම් ටෙලි සම්මාන උත්සවයෙන් පමණක් නොව ලෝකප්‍රකට ග්‍රැනී සම්මාන උළලෙන් පවා රනිල් වික්‍රමසිංහට ලැබීමට සුදුසු බවයි.

ඔහු කියා සිටියේ බලයට පත්වූ රනිල් වික්‍රමසිංහ පාස්කු ප්‍රහාරයේ කුමන්ත්‍රණය රටට හෙළිකිරීමට ඉන්ටර්පෝල්, ස්කොට්ලන්ඩ්යාඩ් වැනි ජාත්‍යන්තර පරීක්ෂණ ආයතන සම්බන්ධ කරගන්නා බවට ප්‍රකාශ කල නමුත් මේ වන විට එම ප්‍රකාශයන් හුදු වචන පමණක් බවට පත්ව ඇති බවත් සුළු ජාතින් සියල්ල ගෙන්වා සුළුජාතීන්ගේ ප්‍රශ්න සියල්ල විසඳන බව ප්‍රකාශ කලත් මේ වන විට මැතිවරණයෙන් පසු එම ප්‍රශ්න විසඳන බව රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රකාශ කර ඇති බවත්ය.

චන්දිම වීරක්කොඩි මහතා මෙහිදී අවධාරණය කරමින් කියා සිටියේ දවසින් දවස ජනතාවට බොරු කියමින්, ජනතාව රවට්ටමින් රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රාජපක්ෂ ආණ්ඩුව විසින් ගෙන යන මෙම වැඩපිළිවෙල තුලින් රට දිනෙන් දින ආපස්සට ගමන් කරන බවයි.