සමගි ජනබලවේගය නිර්මාණය කරන සන්ධානයට ජාතිවාදීන් , දුෂණ වංචා චෝදනා එල්ල වුණ පුද්ගලයින් එකතු කර ගන්නේ නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

සමගි ජනබලවේගයේ මතවාදවලට එකඟවන , සමගි ජනබලවේගයේ ආර්ථික වැඩපිළිවෙලට එකඟවන පිරිසක් නව සන්ධානයට එකතු කර ගන්නා බවත් ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

ජනතාවට බොරු පොරොන්දු ලබාදී ,  බදු ආදායම් කපා දමා කාර්යක්ෂමතාවය , ඵලදායිතාවය නැතිව රටක් ගොඩ ගැනීමට නොහැකි බවත් රටට අවශ්‍ය වන්නේ ආර්ථික විප්ලවයක් බවත් එසේ නැතිව රට ඉදිරියට ගෙනයාම අසීරු බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.

ප්‍රතිව්‍යුහගත කිරීම්වලින් තොරව ආර්ථික ප්‍රතිසංස්කරණ වලින් තොරව රට ඉදිරියට ගෙනයාමට හැකි බව සමගි ජනබලගය ප්‍රකාශ කරන්න නැති බවත්  බදු අයකිරිම් වලට විරුද්ධ වී රටක් ඉදිරියට ගෙනයාමට නොහැති බවත් බදු අයකිරීම් වලට විරුද්ධ වෙනවානම් බදු ප්‍රතිපත්තිය සාධාරණය කරන්නේ කෙසේදැයි විකල්ප සෙවීමට සිදුවනබවත්  හර්ෂ ද සිල්වා මහතා කීය.

ඊයේ (17) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකිදී ඒ මහතා මේ බව පැවැසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවැසීය.

 

   ‘‘අර්බුදයට පෙර පවුලක් රුපියල් 80,000 කින් පමණ ජීවත් වුණා නමුත් අද සාමාන්‍ය පවුලකට ජීවත් වෙන්න 175,000 ක් යන බව රජය කියනවා. පෝලිම් යුගය නැති වුණා කියලා රටේ රටේ ආර්ථික තත්ත්වය දියුණු වෙලා නෑ. රජයේ ආදායම වැඩි කරන්න රජය ගත් තීරණ නිසා සමාජය දැඩි පීඩනයකට ලක්වෙලා තිබෙනවා.  බදු එකතු නොකළොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ තිබෙන වැඩපිළිවෙල කඩා වැටෙන්න පුලුවන්. ඒ වැඩපිළිවෙල කඩා වැටුනොත් රටට අත දෙන්න කෙනෙක් නෑ.

ජනතාවට ඇත්ත කියලා ගොඩ එනවද නැත්නම් මැතිවරණය ජයග්‍රහනය කර ගැනීමට පමණක් ජනතාවට බොරු කියලා රට විනාශ කරලා මහ පාරේ මිනි මරාගන්න තැනට රට පත්කරනවාද කියන ප්‍රශ්නය අපි විකල්ප දේශපාලන පක්ෂ පක්ෂවලින් අහනවා. ඒ වගේම ප්‍රතිව්‍යුහගත කිරීම්වලින් තොර , ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකින් තොර මාර්ගයක් තිබෙනවා කියලා සමගි ජනබලගය කවදාවත් ප්‍රකාශ කරන්න නෑ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතුයි කියලා 2020 ඉස්සල්ලාම කිව්වේ මම.  එහෙම ගියානම් රට බංකොලොත් වෙන්නේ නෑ.  ඊලඟ පාර රට වැටුණොත් වැටුනම තමයි.

ජාත්‍යන්තරව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පියවර දෙකක් තිබෙනවා. එක් පියවරක තුන් කාලයක් සම්පුර්ණ කරලා ඉවරයි. ඒ තමයි චීන් එක්සීන් බැංකුවේ ණය ප්‍රමාණයත් , ජපානයේ යුරෝපයේ ණයත් , ඉන්දියාවෙන් ගත්ත ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න එකඟවෙලා තිබීම. එකඟවුණාට ගිවිසුම අත්සන් කරලා නෑ. අත්සන් කළ පසුව තමයි නිල වශයෙන් සම්පුර්ණ වෙන්නේ.

දෙවැනි පියවර වන වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරනය කරන්න සිදු වෙන්නේ චීන එක්සීන් බැංකුවේ ණය ප්‍රමාණය , පැරිස් ක්ලබ් ණය , ඉන්දියාවෙන් ගත්ත ණය ප්‍රතිව්‍යුහගත කරන්න එකඟ වෙලා ගිවිසුම අත්සන් කළාට පසුව.  මේ කණ්ඩායම් දෙක  එකතුවෙන්න පුලුවන් වැඩපිළිවෙලක් නිර්මාණය කරන්න ඕන.

බදු වැඩි කිරීමේන් පාරිභෝගිකයාට භාණ්ඩ මිලදී ගැනීමට තිබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. භාණ්ඩවල ඉල්ලුම අඩුවෙනවා. එතකොට රටේ ආර්ථික වර්ධන වේගය අඩු වෙනවා. රටේ ආර්ථික වර්ධනය වේගයට බලපාන ප්‍රධාන සාධකය වෙන්නේ පරිභෝජනය. රටේ පරිභෝජනය අඩුවෙනකොට ආර්ථික වර්ධනය වේගය පහළ බහිනවා.

වැට් බදු හරහා 2023 ලබාගන්න බලාපොරොත්තු වුණ ආදායමට වඩා දෙගුණයක ආදායමක් 2024 රජය බලාපොරොත්තු වෙනවා. සියයට වැට් බද්ද සියයට 0 තිබුණ භාණ්ඩ වලට සියයට 18 ක වැට් බද්දක් අය කරලා තිබෙනවා.

සමාජවාදී කියා ගන්න පිරිස් පවා ආදායම් බදු අය කරනවාට විරුද්ධ වෙනවා. සියලු බදු වලට විරුද්ධ වෙලා රටක් ගෙනියන්න බෑ. එහෙම විරුද්ධ වෙනවානම් බදු ප්‍රතිපත්තිය සාධාරණය කරන්නේ කොහොමද කියලා විකල්ප හොයන්න වෙනවා. ආණ්ඩුවකට මීට වඩා බදු ආදායමක් ලැබෙන්න ඕන. දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 20 ක් බදු අයකළ යුතුයි.  දල දේශීය නිෂ්පාදනයට සාපේක්ෂ බද්ද ගෝඨාභය රාජපක්ෂ සියයට 8 දක්වා අඩු කළා. ඒ අඩු කරපු බදු ආදායම සියයට 18 දක්වා ගෙනියන්න තමයි වර්මාන රජය උත්සහ කරන්නේ.

රජය ආදායම් ලබාගන්නේ සියයට 90 ක්ම බදුවලින්.ඉතිරිය රජයට ලැබෙන්නේ බදු නොවන ආදායම් වලින්. රජයකට බදු නොවන ආදායම් මාර්ග තිබිය යුතුයි.  රජයේ ආයතනයකින්  ලාභයක් ලැබුණොත් ඒක බදු නොවන ආදායමක්. නමුත් රජයේ ආයතනයක් පාඩු ලැබුවොත් ඒ පාඩුව ගෙවන්න වෙන්නේ රජය  එකතු කරගන්නා බදු වලින්.

අපි බංග්ලාදේශයෙන් හිගා කන ජාතියක් බවට පත්වෙලා තියෙන්නේ. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා නවත්වපු තැනින් ඉදිරියට යන්නේ නැතුව පහළටනේ ආවේ. ප්‍රේමදාස ජනාධිපතිවරයා නවත්වපු තැනින් ඉදිරියට ගියානම් ලංකාව අත අන්ත දුප්පත් රටක් බවට පත් වෙන්නේ නෑ.  ජනතාවට බොරු කියලා , නිකන් දීලා , බදු කපලා දාලා කාර්යක්ෂමතාවයක් නැතින ඵලදායි තාවයක් නැතිව තරග තරන්න බැරි නිසා තමයි රට අද මේ තියෙන තත්ත්වයට පත් වෙලා තියෙන්නේ. අපි ඒ පාරෙම ගියොත් රට ගොඩ ගන්න බෑ

අපිට අවශ්‍ය වන්නේ ආර්ථික විප්ලවයක්. කාර්යක්ෂමතාවය , ඵලදායාතාව නැතිව රටක් දියුණු කරන්න බෑ.  මේ සත්‍ය තේරුම් ගන්නේ නැතිව රටත් ඉදිරියට අරගෙන යන්න බෑ.

අපිත් සමඟ එකතුවෙනවානම් අපේ මතවාදවලට එකඟවෙන්න ඕන.  අපි සතුව ආර්ථික වැඩපිළිවෙලක් තිබෙනවා ඒ වැඩපිළිවෙලට එකඟවෙන්න ඕන. අපි ජාතිවාදී පිරිසක් නෙවෙයි. අලුත් සන්ධානයක් හැදුවොත් ඒ සන්ධානයට ජාතිවාදි පිරිස් එකතුකරගන්නේ නෑ.  අපි හදන සන්ධානය විවෘතයි.  හොරු නෙවෙයිනම් අපේ සන්ධානයට අපි එකතු කර ගන්නවා.

හැම දේශපාලන පක්ෂයකම අඩු වැඩි වශයෙන් හොරු ඉන්නවා. හොරු අල්ල දේශපාලන පක්ෂවලට බෑ. දේශපාලන පක්ෂවලට පුලුවන් අවශ්‍ය නීති සම්පානදනය කරලා ස්වාධීන කණ්ඩායමකට බලය ලබාදෙන්න. දේශපාලඥයින් කවදාවත් හොරු අල්ලනේ නෑ. හොර අල්ලන්න ස්වාධීන බලය තිබෙන ආයතනයකට අවශ්‍ය පහසුකම් ලබාදුන්නොත් විතරයි.‘‘