මිහින්තලා රජමහා විහාරාධිපති හිමි, නායක ස්වාමීන් වහන්සේගේ ජීවිතයට තර්ජනයක් ඇතිව තිබෙන බවත් පසුගිය සති 3ක සිට හමුදාවේ යැයි කියා ගත් දෙදෙනෙක් එම පුදබිමේ සිටියදී සිවිල් ආරක්ෂක නිලධාරින්ට සහ පොලිසියට හසුවී ඇති බවත් මේ නිසා නායක ස්වාමීන් වහන්සේගේ ජීවිතයට තර්ජනයක් පවතින බවට උන්වහන්සේ විශ්වාස කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (9) පාර්ලිමේන්තුවේදී පැවසීය.

මේ නාදුනන පුද්ගලයන් සම්බන්ධයෙන් මිහින්තලා පුදබිමේ ආරක්ෂාව සහ වැඩකටයුතු සම්බන්ධයෙන් සිටින හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක නිලධාරීන් කිසිවකුත් නොදන්නා බවත් පසුව අනාවරණය වී ඇති ආකාරයට මේ පුද්ගලයන් දෙදෙනා නොච්චියාගම ප්‍රදේශයේ හමුදා කදවුරක ප්‍රධාන අණදෙන නිලධාරියාගේ උපදෙස් මත පැමිණ ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පක්ෂ විපක්ෂ භේදයකින් තොරව නායක ස්වාමීන්ද්‍රයානන් වහන්සේගේ ජීවිතය සම්බන්ධ වගකීමක් ඇති බවත් උන් වහන්සේ පක්ෂ විපක්ෂ භේදයකින් තොරව රටේ සිදුවන වැරදි සම්බන්ධයෙන් විවේචන සිදු කළත් ඒවා දරා ගැනීම අපගේ යුතුකම බවත් එබැවින් මේ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු කර පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.