ශ්‍රී ලංකාවේ මහ බැංකුව තුල තිබූ ලක්ෂ 50ක මුදල් ප්‍රමාණයක් සොරගැනීමේ සිද්ධියක් පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා ප්‍රශ්න කළේය.

ඒ සදහා මුදල් රාජ්‍ය අමාත්‍ය වරයා විමර්ශන දෙකක් සිදුකරන බව පැවසූ අතර නිරෝෂන් පෙරේරා මහතා කියා සිටියේ තවමත් පර්යේෂණ සිදුවෙනවා යන්නෙන් අදහස් වන්නේ මුදල් සොරාගත් පුද්ගලයා මහබැංකුව තුල තවමත් සේවය කරන බවත් තවමත් එම මුදල් සොරකම පිළිබඳව හදුනාගැනීමට වත්මන් රජය සමත් වී නොමැති බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මෙහිදී නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා කියා සිටියේ මහබැංකු මුදල් මංකොල්ලයේ මහා මොලකරු වන අර්ජුන මහේන්ද්‍රන් තවමත් පොලිසිය විසින් සොයමින් සිටින බවත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ වන විට හිටපු මහබැංකු අධිපතිවරුන් දෙදෙනෙක් වන අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ් ඩී ලක්ෂ්මන් යන අයට විරුද්ධව රට බංකොලොත් කිරීම පිළිබඳව නියෝග නිකුත් කර තිබෙන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ අජිත් නිවාඩ් කබ්රාල් සහ ඩබ් ඩී ලක්ෂ්මන් යන අය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැරදිකරුවන් ලෙස නම්කර තිබියදී ඔවුන්ට විශ්‍රාම වැටුප් ලබාදීමට පාර්ලිමේන්තුව වසින් තීරණ කර තිබෙන බවත් අජිත් නිවාඩ් කබ්රාල් ලක්ෂ 1.5ක් වන ඔහුගේ වැටුප ලක්ෂ 4 දක්වා වැඩිකරගෙන තිබෙන බවත් ලක්ෂ 4ක වැටුප් මුදලින් 72%ක් ඔහු විශ්‍රාම වැටුප් ලෙස අනුමත කරගෙන තිබෙන බවත්ය.

නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා මෙහිදී මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේ වැරදිකරුවන් වූ පුද්ගලයින්ගේ විශ්‍රාම වැටුප් මෙන්ම ජනතා මුදලින් මේ වනවිටත් ඔවුන් ලබාගන්න වරප්‍රසාද අත්හිටුවීමට පියවරගන්නේද? යන්නයි.