වත්මන් ජනාධිපතිවරයා මුදල් ඇමතිවරයා ලෙස ව්‍යග්ගපජ්ජ සූත්‍රය කේන්ද්‍ර කර ගෙන එහි ඇති සමජිවී කතාව මුල් කර ගෙන අයවැය කතාව ආරම්භ කිරීම සතුටු වන නමුත් ජනාධිපතිවරයා ආදායමට සමාන ජිවිකාවක් ගැන සමජිවී කතා මූලික කර ගෙන අයවැය ඉදිරිපත් කරත් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් සෙසු කරුණු 3 ගැන ප්‍රකාශ නොකළ බවත් ඒ ගැන කිව්වොත් ජනාධිපතිවරයා, අගමැතිවරයා, මුදල් ඇමතිවරයා සහ ආණ්ඩුව අමාරුවේ වැටෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනාධිපතිවරයා කවුදෝ ගොනාට අන්දවා දිරච්ච ලනුවක් ලබා දී ඇති බවත් ව්‍යග්ගපජ්ජ සූත්‍රය ගැන ජනාධිපතිවරයා දැන ගැනීමට අවශ්‍ය නම් තමාට කතා කරන ලෙසත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ජනාධිපතිවරයා මීට පෙර ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක නොකර මෙවර අයවැය තුළ ද එම යෝජනා ඉදිරිපත් කර ඇති මොහොතක මෙම අයවැය සම්බන්ධයෙන් විශ්වාසයක් තැබිය හැක්කේද කෙසේද කියා ගැටලුවක් පවතින බවත් ය.

වත්මන් ජනාධිපතිවරයා ද ගෝඨාභය රාජපක්ෂගේ ඇස්බැන්දුම් කතා ක්‍රියාත්මක කරමින් ජනතාව ඇන්දවමින් සිටින බවත් කාර්යක්ෂම රාජ්‍ය පාලනයක් ගැන කිව්වට පසුගිය අයවැය යෝජනා 77කින් ව්‍යාපෘති 69ක් ඉටු කර නොමැති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද (16) පාර්ලිමේන්තුවේ දී ජනාධිපතිවරයා ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් සිය අදහස් පළකරමින් සිදු කළ කතාවේදීය.