විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තුවේදී අසනු ලැබූ ප්‍රශ්නය !

“ශ්‍රී ලංකා ජන රජයේ පරමාධිපත්‍ය ජනතාව කෙරෙහි පිහිටා ඇත්තේ ය.
පරමාධිපත්‍යය අත්හළ නොහැක්කේ ය.
පරමාධිපත්‍යයට පාලන බලතල, මූලික අයිතිවාසිකම්
සහ ඡන්ද බලය ද ඇතුළත් වන්නේ ය.”
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වන ව්‍යවස්ථාව උපුටා දැක්වීම.

මෙරට බහුතරයක් පළාත් පාලන ආයතනවල සභික ධූර කාලය මෙම වසරේ මාර්තු මස දී අවසන් වීමට නියමිතව ඇත. එසේ වුව ද, වත්මන් ආණ්ඩුව කෙරෙහි ජනතාව තුළ ඇති අප්‍රසාදය සඟවා තබා ගැනීම උදෙසා ආණ්ඩුව තවදුරටත් මැතිවරණ පැවැත්වීම කල් දැමීමේ දැඩි උත්සාහයක නිරතව සිටී. මේ වනවිට විවිධ කූට උපායන් 22ක් පමණ මැතිවරණය නොපැවැත්වීමට යොදා ගත් බවට මාධ්‍ය මගින් වාර්තා විය. ඒ සියලුම උත්සාහයන් අසාර්ථක වූ තැන මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් නිකුත් නොකිරීම ආණ්ඩුවේ අවසන් උපක්‍රමය වී ඇති බව පෙනේ. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඩප්‍රස්ථා හැකිලීමකි.
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

2023 මාර්තු මස අවසන් වනවිට මෙරට සියලුම පළාත් පාලන ආයතනයන්ගේ ධූර කාලය අවසන් වේ ද? ඒ වනවිටත් ධූර කාලය අවසන් නොවන පළාත් පාලන ආයතන තිබේ ද? ඒ මොනවා ද? දැනට බලාත්මක පළාත් පාලන ආයතනයන්ගේ ධූර කාලය අවසන් වන දිනය කවරේ ද? සභික ධූර කාලය අවසන් වීමට කොපමණ දිනකට ප්‍රථමව පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතු වන්නේ ද? ඒ අනුව, දැනට ප්‍රකාශිත පළාත් පාලන මැතිවරණය පවත්වා අවසන් කළ යුතු දිනය කවදා ද? එය 2023 අයවැය සම්මත කරනු ලබන අවස්ථාව වනවිට පුරෝකථනය කර නොතිබුනේ ද?

පළාත් පාලන මැතිවරණය සඳහා අපේක්ෂිත වියදම කොපමණ ද? ඒ සඳහා වූ ප්‍රතිපාදන පසුගිය 2022 වසරේ දෙසැම්බර් මාසයේ දී සම්මත කළ අයවැය මගින් වෙන් කර ඇති බව රජය පිළිගන්නේ ද? එසේනම්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පළමු කාර්තුවේ පවත්වා අවසන් කළ යුතු මැතිවරණයක් වෙනුවෙන් මූලික ප්‍රතිපාදනවත් ලබා දීම දුෂ්කර බවට ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ලබා දී ඇත්තේ මන් ද? මැතිවරණ කොමිෂන් සභාව විසින් අයවැයෙන් වෙන් කළ ප්‍රතිපාදන ලබා දෙන ලෙස කොපමණ වතාවක් මුදල් අමාත්‍යාංශය මගින් ඉල්ලීම් කර තිබුනේ ද? ඒ කොපමණ ප්‍රමාණ වලින් ද? දැනට නිවේදනය කර ඇති මැතිවරණ කටයුතු සඳහා කොපමණ මුදලක් මේ වනවිට මැතිවරණ කොමිෂන් සභාවට ලබා දී තිබේ ද? තව කොපමණ ප්‍රතිපාදන ප්‍රමාණයක් නිදහස් කළ යුතු ද?

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවූයේ කවදා ද? ඒ සඳහා නීත්‍යානුකූල බලය ඇත්තේ කාට ද? ඒ අනුව බලයලත් අය විසින් ඒ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කලේ නම් එම ගැසට් නිවේදනය/න් කුමක් ද? අදාල කාල සීමාව තුළ දී භාර දී තිබූ නාම යෝජනා සංඛ්‍යාව කොපමණ ද? ඒ අතර, කොපමණ පිළිගත් දේශපාලන පක්ෂ සංඛ්‍යාවක් නාම යෝජනා ලබා දී තිබුනේ ද? නාම යෝජනා කැඳවීමෙන් අනතුරුව ඡන්ද විමසීම පිළිබඳව ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ කවදා ද? ඒ සඳහා නීත්‍යානුකූල බලය ඇත්තේ කාට ද? බලයලත් අය විසින් ඒ සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කලේ නම් එම ගැසට් නිවේදනය/න් කුමක් ද? ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය ප්‍රකාශයට පත් කිරීම නීත්‍යානුකූලව සිදු කර නොමැති බවට පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කලේ කුමන නීත්‍යානුකූල පදනමින් ද? එසේනම්, එය සනාථ කිරීම සඳහා වූ ලිපි ලේඛන මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ද?

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ එහි සාමාජිකයින් වෙන් වෙන්ව හා එක්ව කී වරක් ජනාධිපතිවරයා හමුවට කැඳවූයේ ද? කී වරක් අග්‍රාමාත්‍යවරයා හමුවට කැඳවූයේ ද? මැතිවරණයක් ප්‍රකාශ කර ඇති අවස්ථාවක පෙර නොවූ විරූ අයුරින් ඔවුන් කැඳවූයේ කුමන කරුණක් අරඹයා ද? මෙය ස්වාධීන මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යයන්ට බලපෑම් කිරීම සඳහා සිදුකල දේශපාලන මැදිහත් වීමක් නොවේ ද?

මුද්‍රණාලයාධිපති වශයෙන් කටයුතු කරනු ලබන නිලධරයා කවු ද? මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු ඒ සම්බන්ධයෙන් මුද්‍රණාලයාධිපතිගේ වගකීම්/රාජකාරී කවරේ ද? භාණ්ඩාගාර ලේකම් වශයෙන් කටයුතු කරනු ලබන නිලධරයා කවු ද? මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු භාණ්ඩාගාර ලේකම්ගේ වගකීම්/රාජකාරී කවරේ ද? පොලිස්පති වශයෙන් කටයුතු කරන්නේ කවු ද? මැතිවරණය ප්‍රකාශයට පත් කළ පසු ශ්‍රී ලංකා පොලීසියේ වගකීම්/රාජකාරී කවරේ ද? මෙම පිරිස් ඔවුන්ගේ වගකීම්/රාජකාරී පැහැර හැර තිබේ ද? ඒ කෙසේ ද? එසේනම්, ඒ සඳහා වගකිව යුත්තේ කවුරුන් ද? මෙම වගකීම් නොපිරිහෙලා ඉටු කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ ආයතන සංග්‍රහයේ ප්‍රතිපාදන පවතී ද? ඒ කවරේ ද? මෙම සියලු නිලධරයන්ට මැතිවරණ කොමිෂන් සභාව විසින් ලබා දී ඇති නියෝග/උපදෙස් කවරේ ද?

පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා තම රාජකාරී වලින් නිවාඩු ලබා හෝ ඉවත්ව රාජ්‍ය නිළධාරීන් කොපමණ සංඛ්‍යාවක් නාම යෝජනා භාර දී තිබේ ද? මැතිවරණය කඩාකප්පල් වීම හෝ නිසි කලට නොපැවැත්වීම මත මෙම පිරිසට නැවත රාජකාරියට වාර්තා කිරීම සම්බන්ධයෙන් ප්‍රතිපාදන පවතී ද? ඒ කවරේ ද? නොඑසේනම්, මෙම අසීරු ආර්ථික තත්ත්වය හමුවේ මාසික වැටුප පවා අහිමිවන එම පිරිස වෙනුවෙන් රජය ලබා දෙන විසඳුම කුමක් ද?

සජිත් ප්‍රේමදාස (පා.ම.)
විපක්ෂ නායක