ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්ථානය සහ පාකිස්තානය වැනි රටවල ඇති වී තිබෙන ආර්ථික අර්බුද හේතුවෙන් එම රටවල දරිද්‍රතාව ඉහළ ගොස් ඇතැයි ලෝක බැංකුවේ ගෝලීය ආර්ථික අපේක්ෂාවන් පිළිබඳ ජනවාරි වාර්තාව පෙන්වා දී ඇත. ඒ හේතුවෙන් එම රටවල පවුල් පෝෂ්‍යදායි ආහාර ගැනීම අඩු කර ඇති නිසා දැවැන්ත අහාර අර්බුදයක් ඇති බවත් විදුලිය කප්පාදුවට හුරු වී ඇති බවත් එම වාර්තාවේ සඳහන් වී තිබේ.

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද්ධය, ඉහළ ආහාර සහ බලශක්ති මිල මෙන්ම ඉහළ උද්ධමනය සමඟ මහ බැංකු වලට සටන් කිරීමට සිදුවීම දකුණු ආසියාවේ ආර්ථිකයන්ට බලපෑම් එල්ල කර ඇතැයි ලෝක බැංකුව පවසා ඇත. ඒ හේතුවෙන් එම රටවල වෙළඳාම සහ නිෂ්පාදනය හැකිලී ඇති බවත් එය එම රටවල සිටින පවුල්වල සැබෑ අදායමට බලපා ඇති බවත් ලෝක බැංකු වාර්තාව පෙන්වා දී තිබේ.

ඇති වී තිබෙන ආර්ථික අර්බුද හමුවේ ඇතැම් රටවලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය පැතීමට සිදුව ඇති බවත් තවත් රටවලට දැඩි මූල්‍ය ප්‍රතිපත්තියක් අනුගමනය කරමින් ආනයන සීමා පනවමින් කටයුතු කිරීමට සිදුව ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

බාහිර ණය ගෙවීමට , ආහාර සහ ඉන්ධන ආනයනය කිරීමට විදේශ සංචිත හිඟ වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය වසරේදී සියයට 9.2 කින් හැකිළී ඇති බවත් මෙම වසරේ එය සියයට 4.2 දෙකකින් හැකිළෙතැයි පුරෝකථනය කරන බවත් ගෝලීය ආර්ථික අපේක්ෂාවන් වාර්තාවේ සඳහන් වේ.

කලාපයේ ආර්ථිකය 2022 වසරේ සියයට 6.1 ක් දක්වා මන්දගාමී වී ඇති බව ඇස්තමේන්තු කර ඇති බවත් එය 2023 වසරේදී තවත් පහළට යමින් සියයට 5.5 ක් දක්වා තවත් මන්දගාමී වනු ඇතැයි පුරෝකථනය කරන බවත් එම වාර්තාව පෙන්වා දී ඇත.