මෙරට කීර්තිමත් නිදහස් සෞඛ්‍ය සේවයක් දශක ගණනාවක් තිස්සේ පැවතුන බවත් මේ වනවිට රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් ඇති බවත් අවධාරණය කරමින් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී අසනු ලැබූ ප්‍රශ්න.
මෙරට කීර්තිමත් නිදහස් සෞඛ්‍ය සේවයක් දශක ගණනාවක් තිස්සේ පැවතුනත් පසුගිය වසර දෙක තුළ සෞඛ්‍ය සේවයේ දරුණු කඩා වැටීමක් වාර්තා විය. මේ වනවිට රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධවල දැඩි හිඟයක් පවතින අතර, දැනට ඇති සීමිත ඖෂධ ප්‍රමාණයේ ද මිල සීඝ්‍ර ලෙස ඉහළ යාම නිසා රෝගීන්ට එම ඖෂධ මිළට ගැනීමට නොහැකි වාතාවරණයක් උදා වී ඇත. එය සමස්ත ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය කෙරෙහි ප්‍රබල තර්ජනයක් ඇති කරනු ලබයි. එබැවින්, සෞඛ්‍ය ක්ෂේත්රයේ මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් රජය සුවිශේෂී අවධානයක් කඩිනමින් යොමු කළ යුතුව ඇත.
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.
- මෙරටට ආනයනය කළ යුතු අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග කවරේ ද යන්න ලැයිස්තු ගත කර තිබේ ද? එම ලැයිස්තුව මෙම සභාවට ඉදිරිපත් කරන්නේ ද? රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් සහ වෙනත් ආනයනකරුවන් විසින් මෙම අත්‍යාවශ්‍ය ඖෂධ ආනයනය නිසි කලට සිදු කරන බවට රජයට සහතික විය හැකි ද? ඒ සඳහා මාසිකව කොපමණ විදේශ විනිමය ප්‍රමාණයක් අවශ්‍ය වේ ද? එම මුදල ප්‍රමාදයකින් තොරව ලැබෙන බව රජයට සහතික විය හැකි ද? එම විදේශ විනිමය ප්‍රමාණය ඒ සඳහා පමණක් වෙන් කිරීමට රජය කටයුතු කරන්නේ ද?
- දැනට ඖෂධවල මිල ගණන් තීරණය කිරීම සිදු කරනු ලබන්නේ මිල කමිටුවක් මගින් බව වාර්තා වේ. මෙම මිල කමිටුවෙහි සාමාජිකයින් කවුරුන් ද? ඔවුන් නියෝජනය කරනු ලබන්නේ කුමන පාර්ශවයන් ද? එම කමිටුවට ඖෂධ ආනයනකරුවන් මෙන්ම, ඖෂධ බෙදාහරින්නන්, ඖෂධ අලෙවිකරුවන් ද සහභාගී කර ගැනීම තුළින් ඖෂධ සඳහා සාධාරණ මිලක් නියම කළ හැකි නොවන්නේ ද? මිල කමිටුව වෙනුවට, සියලුම ඖෂධවල මිල ගණන් පාලනය වන පරිදි මිල සූත්‍රයක් හඳුන්වා දීමට රජයට කටයුතු කළ නොහැකි ද?
- ඖෂධ අලෙවිසැල් වෙත බෙදා හරිනු ලැබූ ඖෂධ කල් ඉකුත් වීමෙන් පසු ඇතැම් සැපයුම්කරුවන් විසින් ඒවා නැවත එකතු කිරීම සිදු නොකරන බව ඔසුසල් හිමියන් විසින් පෙන්වා දේ. මෙම කල් ඉකුත් වූ ඖෂධ නිසි පරිදි ඔසුසල් වලින් ඉවත් කිරීම සඳහා සමස්ත සැපයුම්කරුවන්ටම එක් නිශ්චිත ප්‍රතිපත්තියක්/ක්‍රමවේදයක් හඳුන්වා දිය නොහැකි ද? මේ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේ ද?
- මෙම වසරේ මාස 8ක් වැනි කෙටි කාලපරිච්ඡේදයක් තුළ දී වෛද්‍යවරුන් 500කට ආසන්න සංඛ්‍යාවක් රට හැර ගොස් ඇති බවට තොරතුරු හෙළි වී තිබේ. මීට අමතරව, අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයින් ද රට හැර යාම සිදු වේ. මෙය තවදුරටත් වර්ධනය වුවහොත් මෙරට සෞඛ්‍ය පද්ධතිය මුළුමනින්ම පාහේ බිඳ වැටීමට හේතු වනු ඇත. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් මෙරට සෞඛ්‍ය සේවයේ රඳවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගනු ලබන පියවර කවරේ ද?
- මෙරට ඖෂධ ගෙන්වීම, බෙදාහැරීම සහ අලෙවිය සම්බන්ධයෙන් සම්පූර්ණ වගකීම දරනු ලබන්නේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) විසිනි. නමුත්, ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඉටු කරනු ලැබිය යුතු මූලික කාර්යයක් වන සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීමේ දැඩි ප්‍රමාදයන් පවතින නිසා, නිසි කළට ඖෂධ වෙළඳපොළ වෙත සැපයීමට බාධා ඇති වන බව වාර්තා වේ. පුහුණු ඖෂධවේදීන්ගේ හිඟය මෙයට හේතු වී ඇත. එමෙන්ම, ඖෂධ අලෙවිසැල් පරීක්ෂා කිරීම ඇතුළු අනෙකුත් කාර්යයන් ඉටු කරනු ලබන ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් (Food & Drugs Inspectors) බඳවා ගැනීමේ ගැටලු නිසා ද ජාතික ඖෂධ නියාමන අධිකාරියේ කාර්යයන් නිසි පරිදි ඉටු නොවන බව වාර්තා වේ. මෙම ගැටලු විසඳීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේ ද?
- රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව (SPC) විසින් ගෙවීම් නොකිරීම නිසා සැපයුම්කරුවන් ඖෂධ සැපයීම අත්හිටුවා ඇති බවට තොරතුරු වාර්තා වේ. මෙය සත්‍යය ද? එසේනම්, රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව මගින් කොපමණ මුදලක් ඖෂධ ආනයනකරුවන් වෙත ගෙවීමට තිබේ ද? එම ගෙවීම් ප්‍රමාද වීමට හේතු කවරේ ද?
සජිත් ප්‍රේමදාස (පා.ම.)
විපක්ෂ නායක