“අද දවසේ රටේ ජනතාව හඬ නගා අපෙන් ඉල්ලා සිටින ප්‍රධානතම ඉල්ලීම නම් ජනතා අපේක්ෂා ඉටු කරන රාජ්‍ය පාලනයක් බිහිකිරීමය. ඒ සඳහා පාරදෘශ්‍ය ප්‍රතිපත්ති රාමුවක් යටතේ මහජන නියෝජිතයන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්ගේ පිරිසිදු කැපකිරීම සහතික කරන දූෂණයෙන් තොර පාලනයක් අප ස්ථාපනය කරන්නෙමු”
ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’
                                                     ( පිටුව 02)

මුහුදේ රැල්ල ගොඩට ගැලුවා වගේ  පහුගිය මැතිවරණ දෙකම පොහොට්ටුව ජයග්‍රහණය කළේ විපක්ෂට හේදිලා යන තරමේ උත්තරයක් දීලාය. මැතිවරණය අවසන් වෙලා දින කිහිපයකට පස්සේ විසිවෙනි සංශෝධනය ගෙනත් ඒක සම්මත කරගන්න තුනෙන් දෙකේ බලයත් හදාගත්ත ආණ්ඩුව රටට සෞභාග්‍යය ගෙනයි කියා හිතුවෙ නැති කෙනෙක් නැති තරම්ය.

නිදහසෙන් පස්සේ ලංකාවේ බිහිවෙච්ච බලවත්ම ආණ්ඩුව වූයේ  වර්තමාන ආණ්ඩුවය. මේ ආණ්ඩුව හදන්න බුරුතු පිටින් පිටරටවල හිටපු මිනිස්සු පවා ලංකාවට ආව හැටි ඒ දවස් වල breaking news වලටත් පෙන්වූයේය . දැන් තියෙන්නෙ එහෙම මිනිස්සු හදපු ආණ්ඩුව ය. එහෙව් ආණ්ඩුව අද පත්වෙලා තියෙන තත්වය දැක්කම පොඩි දරුවෙක්ට පවා හිනා යනවාය.

“මේ යන විදිහට ගියොත්  අපේ රට බල්ගේරියාවක්, වෙනිසියුලාවක් වෙන එක එක නතර කරන්න ශක්‍රයාට තියා ශක්‍රයාගේ පුතාවයි මටවත් බෑ” 

කඩ පිලේ , බස් එකේ ,කාර්යාලයේ හමුවන හැම කෙනෙක්ම වගේ කියන්නේ එහෙමය.
ඒ කියන්නේ රට තියෙන්නේ තියෙන්නේ බරපතළ අර්බුදයක් ඉදිරියේ ය. “පොහොසත් භූමිය – දුප්පත් ජනතාව” ක්‍රියා ලෝකයා හඳුන්වන රටක් තිබේ. ඒ රට බල්ගේරියාව ය. 
 2018 ඔක්තෝබර් 18 දා ද අයිරිෂ් ටයිම්ස් (THE IRISH TIMES) පත්‍රයේ පළවූ විශේෂ ලිපියක වූයේ බල්ගේරියාව ලෝකයේ වේගයෙන් ගිලා බසින රාජ්‍යය කියාය.ඒකට හේතුව අදූරදර්ශී පාලකයින් ය. යුරෝපයේ 14 වැනි විශාල මේ රටේ රැකියා විරහිත තරුණ තරුණියන්ගේ සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවා ඇත. යුරෝපයේ කම්කරු රැකියාවක් කරන පුද්ගලයෙකු ලබන අවම මාසික වැටුප යුරෝ 575 ක් වුවද එහෙත් බල්ගේරියාවේ මාසික අඩුම වැටුප යුරෝ 260 කි. ළදරුවන් 5,27,000 කට වැඩි පිරිසක් පෝෂ්‍යදායී ආහාර නොමැතිව ඉතා අසරණ අඩියට පත්වී ඇත.
බල්ගේරියාවේ ජනාධිපති රුමෙන් රඩෙව්ය. (RUMEN RADEV) අගමැති බොයිකෝ බොරිසොව්ය.

රටේ නායකයෝ ප්‍රකෝටිපතියෝය. බොහෝ දේශපාලකයින් සොරකම් කළ මුදල් විදේශ රටවල බැංකුවල තැන්පත්කොට ඇති අතර, ඇතැමුන් විදෙස් රට වලින් දේපොළ මිලට ගෙනය. දේශපාලකයන් යුරෝ බිලියන ගණනින් මහජන සම්පත් කොල්ල කා තිබේ. දේශපාලකයන් සමග එක්වී ව්‍යාපාරවලට ඉඩම් මිලදී ගැනීමට, විවිධ පුද්ගලයන්ට ණය ලබාදීමේ දී එම බැංකුව සිදුකළ මහා පරිමාණයේ වංචාවන් හේතුකොටගෙන බල්ගේරියා කෝපරේට් කොමර්ෂල් බැංකුවේ සභාපති සැමන්ටන් වැසිලෙව්ට රටින් පළායාමට එරට බලයට පත් දේශපාලකයන් උදව් කළහ. ඒ් කතාව ලෝක ප්‍රකට ෆෝර්බ්ස් (FORBES) සඟරාවේ පලවිය.

හරියටම අපේ රටේ වගේමය. මේහේ හිටපු මහබැංකු සභාපති  සිංගප්පූරුවේ ‘මඟුල් ගෙදරක’ ගිහින් තවම පැමිණ නැත. මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ මගුල් ගෙදරකට ගිය බව එවක අග්‍රාමාත්‍ය රනිල් කීවේය. රනිල්ට කොකා පෙන්නලා මහබැංකුවත් කඩලා ගජමිතුරා පලායනකම් රනිල් දැන හිටියේ නැත. දැන් රට ගොඩගන්න ඉන්න මහ මොළය’ කියා කැම්පේන් කරන්නේ එහෙව් රනිල් ගැනය.

බල්ගේරියාවේ තරුණ තරුණියන් බ්‍රිතාන්‍යය, ස්පාඤ්ඤය, ජර්මනිය ඇතුළු යුරෝපයේ වෙනත් රටවලට පැන යමින් සිටී. එරට උගතුන් රටින් බැහැර වෙමින් සිටී. එහෙත් දේශපාලකයෝ වගේ වගක් නැතිව ඔහේ සිටී. එරට දේශපාලකයින්ට ඇති නඩු විශාලය.එහෙත් ඒ සියල්ලෙන්ම ඔවුන් නිදොස්කොට නිදහස් වේ.‍මහාපරිමාණයෙන් මුදල් අච්චු ගසමින් ආර්ථිකය නන්වන්නට ඔවුන් ගන්නේ හාස්‍යජනක වෑයමකි.

පේරු, බොලිවියාව, ආර්ජන්ටිනාව යන රාජය්‍යන්ට මැදිව පැසිපික් සාගරයට මුහුණලා මේ වගේම තවත් රටක් තිබේ. ඒ චිලිය යි.එරට සන්තියාගෝ  අගනුවර දිව්‍ය ලෝකයකි. හැබැයි රට නරකාදියකි. නිදහස ලබාගෙන වසර 203ක් තුළ ජනාධිපතිවරුන් 79 දෙනකු පාලනය කළ චිලිය අද බංකොලොත් දේශයකි. මෙහි පාලකයෝ ද තම පවුලේ ඥාතීන් සමග සොරකම් කරති. ඒ අතරේ රාජ්‍ය දේපොළ කුණුකොල්ලයට විකිණීම සිදුවේ. 2010 මහා භූමි කම්පාව නිසා චිලියේ දසදහස් ගානක් අන්ත අසරණ වූහ. එහෙත් ජාත්‍යන්තර සංවිධානවලින් ලබා දුන් ආධාර අමු අමුවේ මංකොල්ල කමින් පාලකයෝ සුරසැප වින්දහ. 1963 යුද හමුදා ජනරාල් අගෝස්තෝ පිනෝචේ  රටේ පාලනය සියතට ගත් අතර එදා සිටම රට යන්නේ පහළටය. ජනරාල් පිනෝචේ  මුල් තැන දුන්නේ දූෂණයට සහ මුදල් විශුද්ධිකරණයටය. ගජරාමෙට රට නට්ටං විය. ඒ මදිවට පවුල් පාලනය විසින් රට සුන්බුන් කොට දැමූහ.
පිනෝචේගේ බෑනා වූ ජුලියෝ පොන්ස්  රත්රන්, රිදී, තඹ ආකර රාශියක් රාජ්‍ය අනුග්‍රහයෙන් කුණුකොල්ලයට මිලට ගත් අතර ඔහු එවකට රජයේ ඉහළ තනතුරු දැරුවේය. පිනෝචේගේ දුව ද නොදෙවෙනි ලෙස ධනය ඉපයූවාය. චිලියේ හිටපු ජනපතිනි මිචෙල් බැචලට්ගේ පුතා වූ සෙබස්තියන් දවලෝස් තම බිරිඳ සමග එක් වී මහා සොරකම් කළේය.

අද මේ හැම රටක්ම නන්නත්තාරය.එක්කෝ ඒ රටවල සම්පත් සියල්ල අහිමිවෙලාය. නැතිනම් මහා ණය බරින් මිරිකිලාය.

ලංකාවට වෙන්න යන්නෙත් ඒකද?

ඒකනම් කියන්න බැරිය.හැබැයි එහෙම නොවෙයි කියන්න හේතු අඩුය. ශ්‍රී ලංකා රජය පසුගිය මාස 20 තුල රුපියල් කෝටි 125,747 ක් (රු. 1,257,470,000,000) අච්චු ගසා ඇත.ඒ කියන්නේ  ඉවක් බවක් නැතිව මුදල් අච්චු ගැසීම ලංකා ඉතිහාසයේ දැවැන්තම මුල්‍ය අර්බුදයට ලංකාව දක්කාගෙන ගොස් ඇති බවය. කබ්රාල් මහ බැංකු අධිපතිවරයා ලෙස පත් වූ පසුව පමණක් මේ දක්වා රුපියල් කෝටි 4784 ක් අච්චු ගසා ඇත.ඒක හරියටම කීවොත් හෙවත් මත්තල ගුවන්තොටුපල සෑදීමට වැය වූ මුදලට ආසන්න මුදලක්ය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දත්ත අනුව 2020 ජනවාරි 1 දින වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව සතු ආණ්ඩුවේ භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කරවල මුහුණත අගය රුපියල් බිලියන 74.74 ක් විය.  එය 2021 සැප්. 30 වනවිට රු. බිලියන 1,3332.21 කි. මාස 20 ට අච්චු ගසා ඇති මුදල රුපියල් බිලියන 1,257.47 ක් හෙවත් රුපියල් කෝටි එක් ලක්ෂ විසි පන් දහසකට වැඩිය.මේ දත්ත බොරුද කියා ආණ්ඩුව රටට කිව යුතුය.

‘සල්ලි අච්චු ගැහුවට ආර්ථිකය කඩා වැටෙන්නේ නෑ’ කියා කියන්නේ ආණ්ඩුවේ ආර්ථික ඔස්තාර්ලාය.එහෙම නොවෙන්නේ ඇමරිකාව වගේ අපේ රට දියුනුනම්ය.
බලවත් මුදල් ඒකක (Fiat Currencies) සහිත ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ජපානය වගේ රටවල් ඔවුන්ගේ රාජ්‍ය වියදම් වලට මුදල් එක්රැස් කිරීමේදී බදු මුදල් වෙනුවට මුදල් අච්චු ගැසීම් සිදුකරයි. “නූතන මූල්‍ය න්‍යාය“ (Modern Monetary Theory – MMT) කියන්නේ ඒකට ය. ඒ රටවල මුදල් ඒකක ලෝකයේ බලවත් මුදල් ඒකකය. ඒ නිසා ඔවුන්ට එහි සැපයුම පාලනය කරන්න පුලුවන්ය. ඒත් අපේ රටේ මුදල් ඒකකය සෙම්ප්‍රතිශ්‍යාවටත් පහළ යන රුපියල්ය. ඒ නිසා මහ බැංකුව මුදල් අච්චු ගැසීමෙන් සිදුවෙන්නෙ ලංකාවේම වෙළඳපළට ඒ මුදල් එකතුවීමය. දැන් වෙලා තියෙන්නේ ඒකය.රුපියල් 5000ක් ගෙන කඩේකට ගියාම ගන්න වෙන්නේ ෂොපින් මල්ලකට බඩු ටිකක් පමණය. බංගලාදේශය වියට්නාමය වගේ අපිට පිටුපසින් හිටපු රටවල් දැන් අප පසුකොට ගිහින් ය.

“රුපියල පාලනය කරගන්න බැරි ආණ්ඩුවක් රට පාලනය කරන්නේ කොහොමද?.ඔයිට වඩා හොඳයි ආණ්ඩුව සෝමාලියාවට භාර දුන්නානම්” ඒ දවස්වල විමල් කීවේ එහෙමය.ඒ විතරක් නෙවේ 2017-06 -18 විමල් මෙහමත් කීවේය. ‘අද බඩු මිල අහස උසට නැගලා. තුන්වේල කන්න නැතිව අසරණ ජනතාව අහස දෙස බලාගෙන හූල්ලනවා. රටේ ආර්ථිකය කඩා වැටිලා. රුපියල හොඳටම බාල්දු වෙලා. ආර්ථික වර්ධන වේගය හොඳටම අඩුවෙලා. නිල සංඛ්‍යාලේඛන අනුව එය 3.5%ට කඩා වැටිලා. ඒත් ඇත්ත අගය 2%ටත් අඩුයි. පෞද්ගලික අංශයත් කඩා වැටිලා. රැකියා වියුක්තිය වැඩිවෙලා. මේ කිසිම ගැටළුවකට විසඳුමක් නැති, සුරංගනා කතා කියන තක්කඩි රැලක් අතට තමයි 2015 ජනවාරි 08 වැනිදා මේ රට පත් වුණේ.’

එදා එහෙම කියපු විමල්ලා අද කොහෙද නැත. යහපාලනය යන වචනය මෙරට ජනතාවට එපා වීමට වසර හතරක පමණ කාලයක් ගතවිය. ඒ යහපාලන නායකයින්ම ව යහපාලනය අවපාලනයක් බවට පෙරළාගත් නිසාය. සෞභාග්‍යයේ දැක්ම හරහා රටේ සහ තමන්ගේ භාග්‍යය සෙවූ ජනතාවගෙන් බහුතරයකට වසර දෙක ගතවන වන විට සෞභාග්‍යය තිත්ත වි ඇති බවක් පෙනී යයි.
රුපියල් බිඳින 26 ක මුදල් ප්‍රමාණයක් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විසින් අලුතින් මුද‍්‍රණය කර ඇත.
ඒ අනුව 2022 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 146 ක මුදල් නොට්ටු අලුතින් මුද්‍රණය කර ඇත. එනම් දින 25ක් කාලයේ සඳහා දිනකට රුපියල් බිලියන 6 කට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට කටයුතු කර තිබේ. 2021 දෙසැම්බර් මාසයේ දී ජා.පා.මි.ද. මත පදනම් වූ වාර්ෂික සාමාන්‍ය මතුපිට උද්ධමනය 7% දක්වා ඉහළ ගිය අතරල වාර්ෂික ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 14.0% දක්වා ඉහළ ගොස් ඇති බව ශ‍්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර ඇත. දැන්නම් ඉතිං කටඋත්තරම නැත.
දැන් ඇත්තේ බබිත් සුන්. බබීගේ අම්මිත් සුන් තත්ත්වයකි.