2023 තුන්වැනි කාර්තුවේ සිට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන බව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බවත් ඒ අනුව රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරන්න අයවැය සම්මත වනතුරු සිටිමට අවශ්‍ය නැති බවත් ඊයේ (25) විපක්ෂ නායක කාර්යාලයේ පවතී මධ්‍යහමුවට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවැසීය.

ඉරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් පැවසුවේ , විශ්ව විද්‍යාලවලට ඇතුළු වන පිරිස හැරුණම රටේ අනිකුත් තරුණ ප්‍රජාව පිළිබඳ රජය සැලකීමක් දක්වන්නේ නැති බවත් ඔවුන්ගේ අනාගතය සකස් කරන්න වැඩපිළිවෙලක් සකස් කරන්න අවශ්‍ය බවත් රටේ සෑම දරුවෙකුටම මොනයම් හෝ අධ්‍යාපනික වැඩපිළිවෙලක් සකස් කිරීම සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය බවත්ය.

තිබෙන තත්ත්වයෙන් රට ගොඩගන්න විවිධ ක්ශ්‍රේත්‍රවල විශේෂඥන් යොදාගැනීමේ වැඩපිළිවෙලක් සමගි ජන බලවේගය සතු බවත් තනි පුද්ගලයෙකුට රට තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න නොහැකි බවත් ඒ මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඉරාන් වික්‍රමරත්න මහතා මෙසේ පැවැසීය.

“විසර්ජන පනත දිහා බැලුවාම අපට පේන්න තියෙනවා විදයම් වැඩි කරලා තියෙනවා. නමුත් ආදායම් වැඩි කර ගැනීම පිළිබඳ විසර්ජන කෙටුම්පතේ දැම්මා කියලා ආදායම් වැඩි වෙන්නේ නෑ. මේ අවුරුද්දෙත් රජයට ආදායම එකතු කර ගන්න බැරි වෙලා තිබෙනවා. හිතුවට වැඩිය ආදායම අඩු වෙලා තිබෙනවා.

බදු ගෙවන අය ගෙවනවා අනිත් පිරිස කොහොමත් ගෙවන්නේ නෑ. නමුත් වියදම් වැඩි කරලා තියෙනවා. මුදල් අමත්‍යාංශයේ වියදම බිලියන 614 සිට බිලියන 723 ක් දක්වා වැඩි වෙලා තියෙනවා. ආරක්ෂක අමාත්‍යාංශයෙත් බිලියන 423 කට වඩා වැඩි මුදලක් වැඩි කරලා තියෙනවා. රටේ සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයට සහ අධ්‍යාපන ක්ශ්‍රේත්‍රයට වැඩි මුදලක් වෙන්න කරන්න අවශ්‍යයි.

අධ්‍යාපනය ලබලා විශ්ව විද්‍යාලයට යන පිරිස හැරුණම රටේ අනිත් තරුණ ප්‍රජාව පිළිබඳ සලකන්නේ නෑ. ඔවුන්ගේ අනාගතය අඳුරේ. ඒ පිරිස වෙනුවෙන් වැඩපිළිවෙලක් සකස් කරන්න අවශ්‍යයි. සමගි ජනබලවේගයේ ප්‍රතිපත්තිය වෙන්නේ රජය සෑම දරුවෙකුටම මොනයම් හෝ අධ්‍යාපනික වැඩපිළිවෙලක් සකස් කරන්න ඕන යන්නයි.

දරුවන්ගේ අධ්‍යාපනයට මාර්ගය සකස් කිරීම රජයක් සතු මූලික වගකීමක්. රජය අධ්‍යාපනයට බිලියන 90 ක් විතර වැඩි කරලා තිබෙනවා. ඒක හොදයි. නමුත් ඒ මුදල මදියි. දල දේශීය නිෂ්පාදනයෙන් උසස් අධ්‍යාපනයට වෙන් කරලා තියෙන්නේ සියයට 3.9 ක්. එ්ක අපි සියයට 1 ක් දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. මුලු අධ්‍යාපනයට දල දේශීය නිෂ්පාදනයෙන් 1.5 ක් වෙන් කරලා තියෙන්නේ. කාලයක් තුළ එම අගය 3 ට වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා.

රටට විශාල ලෙස බලපාපු ප්‍රශ්නයක් තමයි සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රය. මෙවර සෞඛ්‍ය ක්ශ්‍රේත්‍රයට වැඩි කරලා තිබෙන මුදලත් මදි. රටේ ජනතාවට ශෛල්‍යකර්මයක් කරගන්න බෙහෙත් ගන්න විදිහක් නෑ. දෙන බෙහෙත් තත්ත්වයෙන් බාල බෙහෙත් ඒවා අරගෙන ජීවිතත් අහිමි වෙලා තිබෙනවා.

ජනාධිපතිවරයා පසුගිය පාර්ලිමේන්තු සභා වාරයකදී කිව්වා 2023 තුන්වැනි කාර්තුවේ සිට රාජ්‍ය සේවයේ වැටුප් වැඩි කරනවා කියලා. පාර්ලිමේන්තුවට ඇවිත් කියපු නිසා තුන්වැනි කාර්තුවේම ඒක කරන්න. 2024 වෙනකන් ඉන්න ඕන නෑ. අයවැය සම්මත වෙනකන් ඉන්න ඕන නෑ. වෘත්තිකයින් රඳවා ගන්න වැඩපිළිවෙලක් සකස් කරන්න.

ස්වභාවික අපදා තිබෙන රටවල් පහෙන් එකක් ලංකාව. අපදාවක් ඇතිවුණාම ලංකාවේ කරන්නේ බත් පැකට් එකක් ටෙන්ට් එකක් ලබාදෙන එක. ඒකෙන් ගැලවෙන්න ඕන. අපදා එන එක වළවාගන්න නැත්නම් ඒ අපදා තත්ත්වයන් අඩු කර ගන්න අපි කටයුතු කරන්න ඕන. සුනාමි කුළුණු 74 ක් රට වටේම ගැහුවා ඒවගෙන් බොහොමයක් දැන් අක්‍රීයයි. ඒ ගැන සොයා බලන්න ඕන රජය.

රටට වැරදිලා තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නයක් නිසා නෙවෙයි. නායකත්වයේ ප්‍රශ්නයක් නිසා.ප්‍රජාතන්ත්‍රවාදී ජීවන රටාවක් තමයි ජනතාව බලාපොරොත්තු වෙන්නේ. මේ පිළිබඳ අවබෝධයක් ඇතුව තමයි සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ සමගි ජන බලවේගය ගමන් කරන්නේ. රට ගොඩගන්න විවිධ ක්ශ්‍රේත්‍රවල විශේෂඥන් යොදාගැනීමේ වැඩපිළිවෙලක් සමගි ජන බලවේගය සතුයි. තනි පුද්ගලයෙක් දාලා රට මේ තිබෙන තත්ත්වයෙන් ගොඩ ගන්න බෑ.”