කෘෂිකර්ම අමාත්‍යාංශය අද වනවිට දැවැන්ත මුල්‍ය හා ශ්‍රාස්ත්‍රීය වංචා සිදු කරන හොර ගුහාවක් බවට පත්ව ඇති බව සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා.

ආණ්ඩුවේ කාබනික පොහොර ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙල ආණ්ඩුවට හිතවත් කිහිප දෙනෙකුට ජනතා මුදල් ගසාකෑම සඳහා අටවා ගත් එකක් බව එතුමිය පවසන්නේ .

රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.කෘෂිකර්ම කේෂ්ත්‍රයේ රැකවලුන් ලෙස පෙනී සිටින ඊනියා බුද්ධිමතුන් ලංකාවේ කෘෂිකර්මාන්තය වලපල්ලට යවමින් සිටින බවයි.

එහි වැඩි දුරටත් සදහන් වන්නේ ,

යූරියා සහ නයිට්‍රජන් පොහොර ඒකාධිකාරය කඩිමුඩියේ පිහිටුවා ගත් සමාගමක තනි අයිතියට ලබාදීම සඳහා සකස් කළ කැබිනට් පත්‍රිකාව බොරුව අසත්‍යය පිරුණු මුදල් මඟඩියකට සැකසූ උගුලකි. කෘෂිකර්ම කේෂ්ත්‍රයේ රැකවලුන් ලෙස පෙනී සිටින ඊනියා බුද්ධිමතුන් ලංකාවේ කෘෂිකර්මාන්තය වලපල්ලට යවමින් පුද්ගලයින් කිහිප දෙනෙකුට ධන උත්පාදනය සඳහා තම වෘත්තීය දැනුමත් ගණිකා වෘත්තීයේ යෙදවීම කණගාටුවකි.

නැනෝ තාක්ෂණය පිළිබඳ එකම විශේඥයෙකු හෝ නොමැති තාක්ෂණික කමිටුවක් මගින් ඉන්දියාවේ රු. 484 ක් වන (ලංකා රුපියල් 1302.18) ක් වන නැනෝ නයිට්‍රජන්, ලංකාවේ මුදලින් රු. 5230 කට මිලදී ගෙන තිබේ.

කැබිනට් පත්‍රිකාවට අනුවද, ආනයනය කර ඇති නිෂ්පාදන විස්තරයට අනුවද, මෙම නිෂ්පාදනයට ‘කාබනික සහතිකය’ නැත. කාබනික කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා යැයි දැවැන්ත ප්‍රචාරයක් ගෙනයමින් ආනයනය කරනු ලැබ ඇත්තේ අවම වශයෙන් කාබනික සහතිකය හෝ නොමැති නිෂ්පාදනයකි.

ඩොලර් නැතිකම වසා ගැනීමට කාබනික පොහොර මිථ්‍යාවේ ගිලෙන විටම මහ කන්නයට අවශ්‍ය පොහොර – බෙහෙත් සපයා ගැනීම ප්‍රශ්නයක් වන බව බුද්ධියක් ඇති ඕනෑම අයෙකුට වැටහී යා යුතුව තිබුණි. ඒ පිළිබඳ විශේඥයින්ද අදහස් දක්වා තිබුණි.

චීන අශූචි ගෙන්වීමට අවශ්‍ය පරිසරය ගොඩනැගීමෙන් පසුව සියලු රාජ්‍යතාන්ත්‍රික සම්ප්‍රදායන් හා රීති බිඳදමමින් චීනයේ දෙපතුල ලෙවකන රටක් බවට පත් කර ඇත. චීන අශූචි පොහොර කෙසේ හෝ ලංකාවට ගොඩබෑම දූෂිතයින්ගේ අරමුණයි.

මහාචාර්ය බුද්ධි මාරඹේ මහතා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සම්පාදක කමිටුවෙන් ඉවත් කිරීම සැබෑ බුද්ධිමතුන් කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ප්‍රතිපත්ති තීරණ ගැනීමේ ක්‍රියාවලියෙන් ඉවත් කිරීමකි. ඒ වෙනුවෙන්, අශූචි කාබනික පොහොර ගෙන්වීමේ නියෝජිතයා ලෙස කටයුතු කළ වත්මන් කෘෂිකර්ම ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සිය ජාවාරමට අවශ්‍ය ලේඛන සකස් කිරීම සඳහා තැරැව්කරුවන් කුලියට ගෙන ඇත.

කෘෂිකර්ම අමාත්‍යංශය, කෘෂිකර්ම අමාත්‍යවරුන් සහ එහි ලේකම්වරුන් රටේ ලක්ෂ 24 ක් වන ගොවි ජනතාවද, ආහාර සුරක්ෂිතතාවයද, රටේ ආර්ථිකයද මකර කටට යවමින් සිදු කරන නාඩගම නැවැත්විය හැක්කේ කෘෂිකර්ම කේෂ්ත්‍රයේ ප්‍රවීණයන්, වෘත්තිකයින් මෙයට සම්බන්ධ තාක්ෂණික කරුණු සම්බන්ධයෙන් වන සංවාදයට එක්වීමෙන් පමනී. උද්දච්ච, පණ්ඩිත සොර මුලක් ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය මකොල්ලකෑම වැලැක්වීමට එක්වන ලෙස කෘෂිකර්ම විශේඥයින්, වෘත්තිකයින්, ගොවිතැනට සම්බන්ධ සියලු සියළු පාර්ශවයන්ගෙන් මම අයැද සිටිමි.

රෝහිණී කවිරත්න
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී