අම්මා මට බැන්නට මං හොදයි….!

කැරිබියන් දූපත් ආශ්‍රිතව බිහිවී ලොවක් වසඟයට ගන්නට රෙගේ සංගීත ශෛලිය සමත් විය.රෙගේ කලාවේ සදාකාලික අධිරාජ්‍යා බොබ් මාලේය.බොබ් මාලේගේ ගීත එක්තරා ආකාරයකින් ආගමකි.No women No Cry, Get up stand up, redemption song ඊට කදිම උදාහරණවේ.ඇමරිකාවට ගල් ගසන දුරකින් ජීවත් වෙමින් Buffalo Soldier ගීතය ගයන්නට බොබ් මාලේ හට පුරුෂ දහිරිය තිබිණි.බොබ් මාලේගේ මරණයෙන් පසුවද සංගීතලොවේ රෙගේ උන්මාදයේ අඩුවක් වූයේ නැත.ලොව පුරා රෙගේ ශෛලියට අනුව බොහෝ ගීත නිර්මාණය විය.ඒ අනුව රෙගේ ශෛලියේ සිංහල ගීතද නිර්මාණය විය.ලංකාවේ රෙගේ රජවරුන් වුයේ ජය ශ්‍රී සංගීත කණ්ඩායමයි.මෙහි හෙඩිමට දමා ඇත්තේද එලෙස රෙගේ ශෛලියෙන් සිංහල භාෂාවෙන් නිර්මාණයවූ ගීතයකි.දෙදහස් ගනන් වල මැද භාගයේ පමණ නිර්මාණය වූ මෙම ගීතය හිට් එකක් නොවුනත් එහි හාස්‍යයොත්පාදක වචනත්,ගායන විලාශයත්,Shrek ත්‍රිමාන සජීවිකරණ චිත්‍රපටියේ බූරුවා ගීතය ගායනා ලෙස පෙනෙන පරිදී රූප රාමු එකිනෙක අමුණා සිදුකල රූප රචනයත් නිසා පැරණි ගීතයක් වුවත් මගේ මතකයේ එය රැඳී තිබිණි.
අම්ම මට බැන්නට මං හොදයි…
තාත්තා මට බැන්නට මං හොදයි..
අයියා මට ගැහුවාට මං හොඳයි.. මං හොඳයි..මං හොඳයි..
කොතරම් නරක වැඩ කලත් මං හොඳයි යැයි සිතන මං හොඳයි යැයි කියන නරක ළමයෙකු ගැන මේ ගීතයෙන් කියවේ.සමහර ළමයි ස්වභාවයෙන්ම නරකය.එවැනි ළමයින්ට ඔයා නෝටි යයි යැයි කියන විට නෑ මං හොඳයි යැයි පෙරළා පිළිතුරු දෙති.හය හතර නොතේරෙන දරුවකුට හරි වැරැද්දේ බෙදුම් රේඛාව පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති නිසා එවැනි ප්‍රතිචාරයක් එක්තරා දුරකට ස්වභාවිකය.
මේ අතර මං නරකයැයි මනා අවබෝධයක් ඇති ළමයින්ද සිටී.එවැනි දරුවකුට ඔයා නෝටි යයි කී විට ඔව් මං නෝටි යයි පෙරළා පිළිතුරු දෙනු ඇත.එහෙත් යම් දැනුම් තේරුම් ඇති වැඩිහිටියෙකු නෑ ඔයා හොඳයි කියා නරක ළමයාට ප්‍රකාශ කළහොත් නරක ළමයා තුල මං හොඳයි යැයි සිතුවිල්ලක් පහල වනු ඇත.ඉන්පසු කොතරම් නරක වැඩ කලත් දරුවා සිතන්නේ මං හොඳයි..මං හොඳයි..මං හොඳයි..කියලාය. මෝඩයෙකු පවා වැඩිහිටියෙක් බවට පත්වන නිසා ඇතැම් වැඩිහිටියන්ට දැනුම් තේරුම් ඇතැයි සිතුවද ඇත්ත වශයෙන්ම ඔවුන්ට දරුවකු තරම්වත් දැනුමක් නොමැත.ඔයා හොඳයි යැයි කියන පුද්ගලයාගේ බාහිර ස්වරූපය හා වැඩිහිටි බව නිසා ඔහු කොතරම් මෝඩයෙක් වුවත් දරුවා ඔහුගේ වචනය විශ්වාස කර මං හොඳයි යැයි සිතයි.වඩා භයානක වන්නේ මෙම තත්ත්වයයි.එයට හේතුව වන්නේ මං හොඳයි යැයි සිතනා නරක දරුවකු වැඩිහිටියකු බවට පත්වී යම්දිනක සමාජගත වීම සිදුවන නිසාය .
මං හොඳයි යැයි සිතන දරුවන් පමණක් නොව නරක වැඩ කරන වැඩිහිටියන්ද සිටී.නරක වැඩිහිටියන්ද සමහර වෙලාවට පොඩි ළමයි වගේය.එපමණක් නොව ජනතාව තලා පෙලා රටේ සම්පත් විකුණා රටේ භාණ්ඩාගාරය හිස් කරන දූෂිත ආණ්ඩුද ඒවා කරන්න ඇත්තන්ද අපි හොඳයි යැයි සිතන දරුවන් වැනිය.තාන්න මාන්න වරප්‍රසාද අපේක්ෂාවෙන් හෝ තනතුරු වරදාන අරමුණින් උගතුන් බුද්ධිමතුන් පමණක් නොව භික්ෂූන් වහන්සේලා ඇතුළු පූජකයන් ද නරක ආණ්ඩුවලට හා ඒවා කරන ඇත්තන්ට නැව් පිටින් සුදුහුණු ආලේප කරති.ඒ තරම් සුදු හුණු රුවන්වැලිසෑයේවත් ගාන්නේ නැත.හිට්ලර් වගේ වෙලා හරි මේක හදන්න.ඔබතුමා තමයි අපේ නූතන රජ්ජුරුවෝ.ඔයාලා කොච්චර හොඳද මෙතන ප්‍රශ්නය වෙලා තියෙන්නෙ කරපු දේවල් කියන්නැති එක වැනි චාටු කතා කියමින් ඔවුන් රජ ගෙදරින් විසිකරනා මස් කටු වළඳති.එක්තරා හාස්‍යොත්පාදක චිත්‍රපටියක මන්ත්‍රී හොඳයි ඇමති හොදා….යි ! යනුවෙන් දෙබසක් විය.අඟර දඟර පාමින් අනර්කලී අකර්ෂා කියන එම දෙබස සැබෑ ජීවිතේ දැන් කියන්නේ බැරෑරුම් ස්වභාවයෙන් මහා පැවිදි උතුමන් වහන්සේලා සහ මහා ප්‍රාඥයන්ය.එහෙම කියන්නට ගොස් එතුමන්ලා බොහෝ විට හත් පොලේ ගා ගනී.ඕනෑම විෂයක් සම්බන්ධව පරතෙරට දන්නා විශේෂඥ වෛද්‍යවරයෙකු පසුගිය දිනක පාංශු විද්‍යාව සම්බන්ධව දැන උගත් මහාචාර්යවරයකු ඉදිරියේ පස් හැදෙන හැටි කියන්නට ගොස් නැට්ටේ සිට ගොම ගාගන්නා ආකාරය සජීවීව නැරබීමට මහජනතාවට අවස්ථාව උදාවිය.
මහජනතාව ඇත්ත වශයෙන්ම පරිස්සම් විය යුත්තේ දේශපාලඥයන්ගෙන් නොව සමාජයේ උසස් තත්ත්වයන් සහ වරප්‍රසාද දරමින් නිරුවත් චරිත වලට කසී සළු පොරවන්නට උත්සහ කරන මෙවැනි යක්ෂයින්ගෙන් ය.දේශපාලඥයන් කෙරෙහි ජනතා ආකල්පය දිනෙන් දින පරිහානියට පත්වීම වැලැක්වීමට දේශපාලඥයන් සාමාන්‍ය ජන සමාජ තුළ යම්කිසි පිළිගැනීමක් ඇති අයවලුන් තමාගේ වාසිය සඳහා ඔවුන්ගේ උගත්කම සහ සමාජ තත්ත්වය මේ වන විට බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවමින් සිටී.එසේ නැතහොත් ඔවුන් ස්වයංව ගණිකා වෘත්තියේ යෙදෙයි .ලෝකය විනාශකලේ සහ කරමින් සිටින්නේ නූගතුන් නොව බුද්ධිමතුන් යැයි කියමනක් තිබේ.
සමහර රජමහා විහාර පැත්තෙන් විශාල ශබ්ද ඇසෙන්නෙද විශාල ශබ්ද ඇසුණු අයට ලොකු ලොකු තනතුරු ලැබෙන්නේද නරක අයට හොඳයි කීමේ ප්‍රතිඵලයක් ලෙස මං හොඳයි යැයි සිතනා නරක ගති ඇත්තන් ලබන ස්වයං වින්දනයේ ප්‍රතිඵලයක් ලෙසය.
හොඳ අයට හොඳයි කිව්වට ප්‍රශ්නයක් නැත.ඒත් නරක අයට හොඳයි යයි යැයි කියන විට වඩාත් ප්‍රවේශම් විය යුතුය.ගෞරවාන්විත යැයි කියනා පුද්ගලයන් තව දුරටත් ඒ වැරැද්ද කරගෙන යන්නේ නම් ඔවුන් ගැන තීරණයක් නුදුරේදීම මහජනතාව ගත යුතුය.නරක අයට බටර් නොගා පෙන්වා දිය යුත්තේ අඩුපාඩුය.එසේ නොමැතිනම් අම්මා බැන්නත්,ගොවියෝ බැන්නත්, ගුරුවරු බැන්නත්,රාජ්‍ය සේවකයෝ බැන්නත් සමස්තයක් ලෙස මුළු මහත් ශ්‍රී ලාංකීය ජනතාවම අම්මා මතක්කර බැන්නත් නරක ලමයි හැමදාම මං හොඳයි.. මං හොඳයි.. යැයි සිතීම වැලැක්වීමට නොහැක.

හිතුවක්කාරයාගේ කොලම – යොහාන් ආරියවංශ