මානව සම්පත නිසි පරිදි කළමනාකරණය නොකිරිම හේතුවෙන් අද වන විට සෞඛ්‍ය පද්ධතිය බිද වැටීමේ බරපතල අවධානමක් තිබෙන බවත් දැනටමත් සේවයේ නිරත වෛද්‍යවරුන් පූර්ව දැනුම් දීමකින් තොරව රට හැර යාමත් විදෙස් ගතව ඉගෙනුම ලබන විශේෂඥ වෛද්‍යවරු නැවත රටට නොපැමිණිම, නවක වෛද්‍යවරු සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්තව සේවය කිරිම ප්‍රතික්ෂේප කිරිම, පශ්චාත් වෛද්‍ය උපාධිය හැදැරිම නොකිරිම හේතුවෙන් මෙරට විශේෂඥ වෛද්‍යවරු ඇතුළු වෛද්‍යවරු හිඟයක් ඇතිවන බවත් මේ සඳහා රජය කඩිනම් විසදුමක් ලබා දීම අපොහොසත් වුවහොත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීමට අපොහොසත් වන බව විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් වෛද්‍යවරුන්ට සේවය යෙදීමට තෘප්තිමත් භාවයක් ඇති වන වැඩපිළිවෙළක් රජය විසින් දියත් කළ යුතු බවත් බුද්ධිගලනය සම්බන්ධයෙන් මීට මාස ගණනාවක පෙර රජය දැනුවත් කළත් රජය නිසි විසදුම්වලට නොඑළඹුන බවත් විශාල පිරිසක් රට අතහැර ගිය පසු යම් යම් පියවර ගැනීමට ගන්නා බවත් මේ කටයුතු මීට මාස කිහිපයකට පෙර සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය කටයුතු කළේ නම් මෙවැනි ගැටලු ඇතිවන බව විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම මෙරට වෛද්‍ය හිගයට පිළියමක් ලෙස නිදහස් අධ්‍යාපනයට තර්ජනයක් නොවන ආකාරයට විකල්ප ක්‍රමවේද හරහා ගුණාත්මකභාවයෙන් ඉහළ වෛද්‍යවරුන් බිහි කළ යුතු බවත් එහි දී නිදහස් අධ්‍යාපනය කිසිදු ආකාරයෙන් විනාශ නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද (23) පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

හජ් වන්දනාවේ යන පිරිසට ලබා දෙන මෙනින්ගෝ කොකල් වැක්සින් එක මාස 12ක කාලයක සිට මෙරට තුළ නොමැති බවත් අදටත් මේ හිඟය පියවා නොමැති බවත් මේ ඌනතාවය විසදා ගැනීමට ගන්නා පියවර කවරේද කියා විපක්ෂ නායකවරයා ප්‍රශ්න කර සිටියේය.

ගාලු බන්ධනාගාරයේ ආසාධන තත්ත්වයක් පවා ඇතිව තිබෙන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම වැක්සින් එක ලබා දී ඇති නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය එය ලබා ගැනීමට අපොහොසත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා මෙහි දී ප්‍රශ්න කර සිටියේය.

ස්ථාරව නියෝග යටතේ තමා අසන ලද ප්‍රශ්නවලට සෞඛ්‍ය ඇමතිවරයා හෝ සෞඛය ක්ෂේත්‍රයේ ඉහළ නිලධාරීන් උත්තර දන්නේ නැතිනම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට දෙවියන්ගේ පිහිට බවත් සරල දත්තයක් වත් නොදැන ද ආණ්ඩුව කටයුතු කරන්නේ කියා ගැටලුවක් මතුව තිබෙන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේ ම මන්ත්‍රීවරු දෙපලකට අද පාර්ලිමේන්තුවට නොපැමිණෙන ලෙස තීන්දුවක් ගෙන ඇති මුත් මේ රජයේම නියෝජ්‍ය ඇමතිවරයකු වරායේ අක්කර 13ක් අඩු තක්සේරුවට විකුණා ඇති බවට ප්‍රකාශ කර ඇති බවත් අසූචි පොහොර වාර්තාව තවමත් කෝප් එකේ සාකච්ඡා නොකර ඇති බවත් ඔවුන්ට යහතින් මේ සභාවේ සිටිය හැකි බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ අධිකාරී යන නිලධාරිවරයාට එල්ල කර ඇති අභූත චෝදනාවලින් ආරක්ෂා කිරිමට සමගි ජන බලවේගය සිටිනා බව ද පැවසීය.

සමහර මන්ත්‍රීවරු ප්‍රශ්න කරන විට පැන යන බවත් මොවුන්ට උත්තර දීමට කොන්දක් නැති බවත් ඔවුන්ට ඒ සදහා උත්තර ලබා දෙන ලෙසත් පැවසීය.