මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා පිහිටුවා ඇති ලංකා සතොස ආයතනයේ පසුගිය කාලයේ සිදු වූ සුදු ළූණු වංචාවත්, රාජ්‍ය අනුග්‍රහය යටතේ සතොස ආයතනයේ සිදුවන මහා පරිමාණ වංචා රැසක් සම්බන්ධවත් තොරතුරු වාර්තාවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

27/2 යටතේ විපක්ෂ නායකතුමා මේ සම්බන්ධයෙන් අනාවරණයත් සිදුකරනු ලැබූ අතර, ඒ හරහා මතුවන ගැටළු රැසක් පිලිබදව විපක්ෂ නායකතුමා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනු ලැබීය.

                     විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(05)ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්‍රශ්නය.
 
මෙරට ජනතාවට අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයීම සඳහා පිහිටුවා ඇති ලංකා සතොස ආයතනයේ පසුගිය කාලයේ සිදු වූ සුදු ළූණු වංචාව අනාවරණයත් සමගම, රාජ්‍ය අනුග්‍රහය යටතේ සතොස ආයතනයේ සිදුවන මහා පරිමාණ වංචා රැසක් සම්බන්ධව තොරතුරු වාර්තා වේ. සතොස මගින් ජනතාව වෙත සහන මිලට ලබා දීමට නියමිතව තිබූ සුදු ළූණු  කිලෝග්‍රෑම් 55,000 ක් පමණ, රුපියල් මිලියන 7 කට ආසන්න මුදලකට පෞද්ගලික ව්‍යාපාරිකයෙකු වෙත හොර රහසෙන් අලෙවි කිරීම මෙම වංචාවේ තොරතුරු හෙළිවීමේ ආරම්භය යි.
 
මෙම සිද්ධියට සමගාමීව පාරිභෝගික සේවා අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයෙකු ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත. ඔහුට එරෙහිව හා ඉහළ නිළධාරීන් වංචා නොකරන බව පවසමින් අමාත්‍යවරුන් මේ  සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් ද සිදු කර තිබේ. එමෙන්ම එම කරුණු වාර්තා කරන මාධ්‍යවේදීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව ප්‍රශ්න කිරීම වැනි එකිනෙක ඈඳුණු කරුණු රාශියක් මගින් වැරදිකරුවන්ට දඬුවම් කිරීම අන් අතක යැවීමේ ආණ්ඩුවේ නාටකීය ස්වරූපයේ රංගනයන් මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණි.
 
කෙසේ වෙතත්, මෙම සුදු ළූණු පිළිබඳ වංචාව පමණක් නොව සතොස ආයතනයේ උදු, සීනි, ටින් මාළු සහ පිටි වැනි භාණ්ඩ කිහිපයක් සම්බන්ධයෙන් ද මෙවැනිම වූ වංචනික ක්‍රියාවන් සිදු වූ බවට වාර්තා වන තොරතුරු ඇති නමුත් ඒවා සම්බන්ධයෙන් අභ්‍යන්තර, බාහිර පරීක්ෂණයන් සිදුවන බවට නම් තොරතුරු අනාවරණය නොවේ.  කෙසේ නමුත්, මහජනතාවට සහන ලබා දීමේ මුවාවෙන් රාජ්‍ය ආයතන, රාජ්‍ය සම්බන්ධතා, රාජ්‍ය ප්‍රතිපත්ති අවභාවිතා කරමින් සිදු කරන ලද මෙවැනි වංචනික ක්‍රියා මැඩ පැවැත්වීම සඳහා රජය විසින් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකරන බව නම් මේ මගින් පැහැදිලි වන කරුණකි.
 
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.
 
1)      ලංකා සතොස ආයතනයේ මෙවැනි සුදු ළූණු වංචාවක් සිදු වූ බව රජය පිළිගන්නේ ද? නොඑසේ නම්, වරායෙන් ලංකා සතොස ආයතනය වෙත නිකුත් කරනු ලැබූ සුදු ළූණු තොග රුපියල් කෝටියකට අධික ප්‍රමාණයක් පාඩු කරමින් පෞද්ගලික ව්‍යාපාරිකයෙකුට ලබා දුන් ක්‍රමවේදය කුමක් ද?
 
2)      සුදු ළූණු 1Kg ක් රුපියල් 350/- ක් වැනි වටිනාකමකට සතොස තොග අලෙවි මධ්‍යස්ථානයෙන් අලෙවි කරද්දී, මෙම සුදු ළූණු තොගය 1Kg ක් රුපියල් 135/- ක් වැනි මුදලකට සම්පූර්ණ කොටසක් ලෙස එක් පෞද්ගලික ආයතනයකට අලෙවි කිරීමේ දී මිළ ගණන් සංශෝධනය සඳහා නියමිත කමිටුවක් මගින් නිර්දේශ ලබා ගෙන තිබේ ද? මෙලෙස මිළ ගණන් සංශෝධනය කිරීම සඳහා අනුමැතිය ලබා දීම සිදුවූයේ ඉහළ පෙළේ නිළධාරීන්ගේ සහභාගීත්වයක් නොමැතිව ද? එසේ මිල ගණන් සංශෝධනයක් සිදුවීම ආණ්ඩුව ලෙස අනුමත කරන්නේ ද? නොඑසේනම්, මෙම පාඩුව සිදුකළ අයගෙන් නැවත අයකර ගන්නේ ද?
 
3)      මෙවැනි සුදු ළූණු ගනුදෙනුවක් වංචාසහගත ලෙස විෂයභාර අමාත්‍යවරයා හෝ සතොස ආයතනයේ ප්‍රධාන නිළධාරීන් නොදැනුවත්ව සිදු වූයේ කෙසේ ද? මහජන මුදලින් වැටුප් ලබන අධ්‍යක්ෂ මණ්ඩලයක් සහ සභාපතිවරු කිහිප දෙනෙකුගෙන් සහ අමාත්‍යවරයෙක් මෙවන් වංචාවක් එක් කෙටි පණිවුඩයක් මගින් අනාවරණය වන තෙක් නොදැන සිටියේ මෙම ආයතනයේ ඉහළ සිට පහළට මෙම වංචාවේ කොටස්කරුවන් සිටින නිසා ද?
 
4)      රාජසන්තක කරන ලද ආහාර ද්‍රව්‍ය කොරෝනා වසංගත තත්ත්වයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති අසරණ පාරිභෝගිකයන් වෙනුවෙන් අඩු මිලට සතොස මගින් බෙදා හැරීම සඳහා ක්‍රියාත්මක විය යුතුව තිබිය දී මෙසේ වංචාවක් සිදුව ඇති බව අනාවරණය වී ඇත. එසේනම්, එම සුදු ළූණු තොගය පෞද්ගලික ආයතනයට ලබා දීමේ දී නිසියාකාරව ටෙන්ඩර් කැඳවීමක් සිදුව ඇති බවට රජය ලෙස සහතිකයක් දිය හැකි ද? එසේනම්, ඒ සඳහා ඉදිරිපත් කළ ටෙන්ඩර් පත්‍රිකා, ඉදිරිපත්වූ මිල ගණන් හා ටෙන්ඩර් කමිටු වාර්තා මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කරන්නේ ද ?
 
5)      ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංගවත් නොදන්නා මේ ආණ්ඩුව මෙම කරුණු වාර්තා කළ මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට උත්සාහ කලේ මාධ්‍ය නිදහස අහිමි කරන ගමන්ම, මෙවන් වංචාවන් මාධ්‍ය වෙත අනාගතයේ දී අනාවරණය නොකිරීමට මාධ්‍ය වෙත තර්ජනය කිරීමේ අරමුණින් නොවේ ද?