වතුකර ජනතාව හැමදාම කම්කරුවන් බවට පත් නොකර වගා නොකළ රජයේ මුඩු ඉඩම් ඒ ඒ ප්‍රදේශවලට අනුකූලව කුඩා තේවතු බවට පත් කර අද කම්කරුවා හෙට ඉඩම් හිමියා කුඩා තේවතු හිමියා බවට පත් කරන සංකල්පය මහ පොලොවේ යථාර්ථයක් බවට පත් කරන බවත් එය රැකියාවකට වඩා ජීවනෝපායක් බවත් ඒ ඉඩම තුළ තේ වත්තක් මෙන්ම නිවසක් සාදා ගෙන හොද ආදායමක් ලැබිය හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙරට තේ නිෂ්පාදනයෙන් සියයට 70ක් ලබා දෙන්නේ සියයට 40ක් පමණ ඉඩම් හිමි කුඩා තේවතු හිමියන් බවත් සියයට 60කට වඩා වැඩි ඉඩම් අයිතිය ඇති මහාපරිමාණ තේ කර්මාන්තශාලා තේ නිෂ්පාදනයට දායකත්වය ලබා දෙන්නේ සියයට 30ක් බවත් කුඩා තේ වතු ප්‍රවර්ධනය යනු තේ නිෂ්පාදනය වැඩි කිරීමක් බවත් එවිට අස්වැසුම, සමෘද්ධිය වැනි දේවල් අවශ්‍ය නොවන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

තමන්ගේම තේ වත්තේ තේ නිෂ්පාදනය කර අපනයනයට සුදුසු පරිදි තේ සැකසීමේ අවස්ථාව ලබා දෙන බවත් දුරදක්වා දර්ශනයකින් හා වැඩපිළිවෙළකින් මෙම සේවාව ඉටු කරන බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (14) සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 97 වැනි අදියර යටතේ කළුතර බුලත්සිංහල මහගම ප්‍රාථමික විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි. සක්වල සුහුරු පන්ති කාමරයක් ප්‍රාථමික විද්‍යාලයට පරිත්‍යාග කළ පළමු අවස්ථාව ලෙස මෙය දැක්විය හැකි ය.

රට හදන්න නම් සෘජු තීන්දු මෙන්ම නිවැරදි දේ කළ යුතු බවත් අධ්‍යාපන, සෞඛ්‍ය, ජීවත්වීමේ අයිතිය සහ ජීවනෝපාය මානව අයිතියක් බවට සමගි ජන බලවේග රජයක් තුළ පත් කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී අවධාරණය කළේය.

රටක හොරකම ප්‍රචලිත නම් දියුණු වෙන්න බැහැ

හොරකමක් ප්‍රචලිත රටකට කවදාවත් දියුණු විය නොහැකි බවත් අප රටේ හොරකම වැඩි බවත් බංකොලොත් රටේ පවා ඇමතිවරයා බෙහෙත්වලින් හොරකම් කරන බවත් එම ඇමතිට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ විට පාර්ලිමේන්තුවේ 113ක් ඔහුව බේරා ගන්න නැගී සිටින බවත් ඔවුන්ට පොදුජනතාව විදින දුක කදුල වේදනාව නොදැනෙන බවත් ඔවුන් රටම සින්නක්කරව ලියා ගෙන අයිතිකරුවන් ලෙසත් ලක්ෂ 220 වහලුන් ලෙස සලකා කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

කටින් බතල හිටවන සුරංගනා කතාවලට රටවල් හදන්න බෑ

කටින් බතල හිටවමින් සුරංගනා කතා කලාට රට හැදිය නොහැකි බවත් වැඩ කර පෙන්විය යුතු බවත් බලයක් නොමැතිව තමා සමග රට සංවර්ධනය කර පෙන්වන ලෙසත් කයිවාරු අත්පොලොසන් බොරු සැනකෙලි දේශපාලනයට රට ගොඩගත නොහැකි බවත් ඒ සදහා වැඩ කර පෙන්විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ආණ්ඩුව ගජමිතුරන්ට දෙන සහන පාසල්වලට දෙන්නේ නැහැ

පාසල්වල පන්තිකාමරවල බිත්ති ඉරිතැලී, බිම් පැලී ඇති බවත් දේශපාලනඥයෝ පන්ති කාමර හැදුවත් ඒවා නඩත්තු වෙන්න ක්‍රමයක් සකස් නොකරන නමුත් සමගි ජන බලවේගය තිරසර සංවර්ධනයක් ඇති කරන නිසා බාරකාර අරමුදලක් ඇති කර ගමේ පාසල දියුණු කරන්න මාවතක් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

වත්මන් ආණ්ඩුව ගජමිතුරන්ට, හොර කල්ලිවලට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව බදු සහන ලබා දුන්නත් පාසල්වලට කිසිදු සහනයක් නොමැති බවත් නමුත් මෙම බාරකාර අරමුදල හරහා පාසල්වලට උපකාර කරන ව්‍යාපාරිකයන්ට සහන ලබා දිය හැකි ක්‍රමවේදයක් සකස් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

යහපත් අනාගතයක් උරුම වන්නේ තමන්ගේ සිහිනවල සුන්දරත්වය විශ්වාස කරන අයට බැවින් දරුවන්ගේ සිහිනය සැබෑ කර ගන්න සිදු කළ හැකි උපරිම දායකත්වය හදවතින්ම ඉටු කරන්න කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 56කට රුපියල් ලක්ෂ 1719ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්ල සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 80 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 80ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 3892ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 97ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 956ක් වැය කර තිබේ.