දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන යටතේ බදු පැනවීම අසාධාරණ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අවධාරණය කරනවා.

මෙම අදහස් පාර්ලිමේන්තුවේදී අවධාරණය ක‍රමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, ඉදිරියේදී සේවක අර්ථසාදක අරමුදල් පනතට සංශෝධනයක් ගෙන එමින් මෙම වරද නිවැරදි කිරීමට කටයුතු කරන බවයි.

අර්ථ සාධක අරමුදලේ රුපියල් බිලියන 3400 ක් පමණ තියනවා. දේශීය ණය ප්‍රශස්තකරණයේදී කළ යෝජනාව තමයි අර්ථ සාධක අරමුදල බැඳුම්කරවල ආයෝජනය කිරීමෙන් ලබන පොලිය 14% ක සිට 30% ක් දක්වා වැඩිකිරීම. ස්වකැමැත්තෙන් තමයි මේ බදු වැඩි කිරීම කරන්නේ කියල කිව්වට මේක බලහත්කාරයෙන් තමයි දැන් කරන්නේ.

මේ අතර ඔහු අවධාරණය කළේ, දේශීය ණය ප්‍රශස්තකරණයේ දී සේවක අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට 9%ක ප්‍රතිලාභයක් ලබාදීම නීත්‍යාණුකූලව සහතික කර නොමැති බවත්, ඒ තත්ත්වය තුළ crisis bonds (අර්බුද කාලයේ මිලදීගත් බැඳුම්කර) මිලදීගත් පාර්ශවයන්ට දැවැන්ත ප්‍රතිලාභයක් ලබාදීම සාධාරණ නොවන බවයි.

දේශීය ණය ප්‍රශස්තකරණයේ දී අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට සැලකිය යුතු අලාභයක් සිදුවෙනවා. සමහරු කියනවා මේ නිසා අර්ථ සාධකයෙන් 50% ක් කැපෙනවා කියලා. ඒක බොරු කතාවක්. නමුත්, 4% ත් 21%ත් අතර අලාභයක් තෝරාගන්නා විකල්ප අවස්ථා අනුව ලැබෙන්න පුළුවන්.

එම තත්ත්වය මත අර්ථ සාධක අරමුදලේ සාමාජිකයින්ට අවම සහ උද්ධමනයට සාපේක්ෂව ධන මූර්ත පොලියක් ලැබෙන ලෙස නීතිය වෙනස් කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවා.

එසේම, තරුණයින් ගැන කතා කරන ආණ්ඩුව මෙහි දී වැඩි ම හානිය සිදුකර තිබෙන්නේ සේවක අර්ථ සාධක අරමුදලේ අවුරුදු 40 ගණන්වල සිටින සාමාජිකයින්ට බවත් මන්ත්‍රීවරයා මෙහි දී පෙන්වා දුන්නා.