වර්තමානයේ රටේ බලශක්ති ක්ෂේත්‍රය ඉතාමත් ව්‍යාකූල තත්වයකට පත්ව තිබෙන බව මුජිබර් රහ්මන් මහතා ඊයේ දිනයේදී පැවති සම්මන්ත්‍රණයකදී පැවසීය. මෙම සම්මන්ත්‍රණයට මහජන උපයෝගීතා කොමිසමේ සාමාජිකයින් මෙන්ම රටේ දේශපාලඥයින් කිහිපදෙනෙකුම සහබාගී විය.

රටේ විදුලිබල පනතට අනුව විදුලි බල මණ්ඩලයට ලාභ ලැබිය නොහැකි පසුබිමක පසුගිය වසර තුල සිදුකල අත්තනෝමතික මිල වැඩිකිරීම් හරහා ලංකා විදුලි බල මණ්ඩලය විශාල ලාභයක් ලබමින් සිටින බවත් පනතේ එසේ තිබියදී  ලාභ ලබමින් තිබෙන විදුලි බල මණ්ඩලය එම ලාබය මිල අඩුකිරීම මගින් ජනතාව අතට ලබා නොදී විදුලි බල මණ්ඩලය සන්තකයේ තබාගෙන සිටීම ඉතාමත් ගැටලුකාරී, ප්‍රශ්නකාරී තත්වයක් මතුකරන බව මෙහිදී රහ්මන් මහතා කියා සිටියේය.

විදුලි ක්ෂේත්‍රය තුල රටේ මහජනතාවට විශාල අසාධාරණයක් සිදු වන බව අවධාරණය කරමින් මුජිබර් රහ්මන් මහතා කියා සිටියේ ශත 18ක නොගෙවූ බිලක් තිබූ පුද්ගලයකුගේ පවා විදුලිය විසන්ධි කිරීමට විදුලි බල මණ්ඩලය කටයුතු කර තිබෙන අතර එම පුද්ගලයාට නැවතත් විදුලිය ලබාගැනීමට රු3000ක් වැයවන බවත් මෙම ක්‍රමවේදය තුල කිසිඳු සාධාරණත්වයක් නොමැති බවත්ය.

වැඩිදුරටත් අදහස් දක්වමින් මුජිබර් රහ්මන් මහතා කියා සිටියේ රටේ විදුලි බල පනතට අනුව හදිසි මිලදීගැනීම් සිදුකිරීමට කිසිඳු අවස්ථාවක් නොමැති පසුබිමක විදුලි බල මණ්ඩලය රු බිලියන 9.3ක හදිසි මිලදීගැනීම් සිදුකර තිබෙන බවත් මේ හරහා අයතා ගනුදෙනු රාශියක් සිදුවන අතරම මෙම සියලු මිලදීගැනීම් සිදුකර තිබෙන්නේ ගජ මිතුරන්ට අයත් බලාගාර වලින් බවත්ය.