රටේ නායකයන්ට මත් රකුසා පිළිබඳ තීන්දු තීරණ ගැනීමට කොන්දක් නොමැති බැවින් ගුරුවරුන් සහ දෙමවුපියන් එක්ව පාසල්වලින් මත්ද්‍රව්‍ය තුරන් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

‘සක්වල’ වැඩසටහනේ 58වැනි බස්රථය අද (03දා) මොරටුව පුවක්අරඹ මෙතෝදිස්ත උසස් විද්‍යාලයට ලබාදීමට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. 

එහිදී වැඩිදුරටත් විපක්‍ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.

“අපේ රට අදූරදර්ශී බොරුකාර, වංචාකාර, හොර දේශපාලන නායකත්වය නිසා මුළු රටම වැටිලා තිබෙනවා. අපේ රටෙත් බොරු රැළි නිර්මාණය වෙනවනේ. බොරු රැළිවලට ගිහින් අද ඡන්දය දුන්න අයයි, නැති අයයි ඇතුළු ලක්‍ෂ 220ම මහා ප්‍රපාතයකට ඇදවැටිලා.

දැන්වත් හිතන්න ඕන සත්‍ය කරා යන්න. ඇත්ත අවබෝධ කර ගන්න. කාටද මේ රටේ ආර්ථිකට කළමනාකරණට කරන්න පුළුවන් ? කාටද මිනිස්සුන්ට දුකක් දෙන්නේ නැතිව මේ බංකොලොත්භාවයෙන් ගොඩ එන්න පුළුවන්? අපි අවංකව කියනවා අපට ඒ හැකියාව තිබෙනවා.  

මම කනගාටු වෙනවා වී.අයි.පී. සමාජවාදීන්ට රට ගොඩනගන සැලැස්මක් නෑ. අපි ළඟ තිබෙනවා සැලැස්ම. අපට ඕන ශ්‍රී ලංකා ෆස්ට් කරන්න. ලෝකයේ දක්‍ෂතම පුරවැසියන් අපේ රටේ පුරවැසියන්. ලෝකයේ දක්‍ෂතම දරු පරපුර අපේ රටේ දරු පරපුර. අපි දක්‍ෂ නිසා තමයි තිස් අවුරුදු යුද්ධයක් අවසන් කළේ.

දෙමවුපියෝ ඇතුළු සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා කරුණාකරලා සියලු දෙනාම සන්නද්ධ වෙන්න පාසල්වලින් කුඩු තුරන් කරන්න ඕන, මත්ද්‍රව්‍ය තුරන් කරන්න ඕන. මේ රට බිළිගන්න මත් රකුසා මේ තරුණ අහිංසක ජීවිත බිළිගැනීමේ ක්‍රියාදාමයන් ක්‍රියාත්මක වෙමින් තිබෙනවා.

මේ රටේ නායකයන්ට මත් රකුසා පිළිබඳ තීන්දු තීරණ ගන්න කොන්දක් නෑ. සිංගප්පූරුව මත්ද්‍රව්‍ය ජාවරම්කරුන්ට දෙන විසඳුම තමයි ලෝකයේ හොඳම විසඳුම. ඒ විසඳුම අපේ රජයක් යටතේ අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා.”