විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීමෙන් මෙරට ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාර්මාන්තකරුවන් සහභාගීකර ගනිමින්න් ආසියානු සංවර්ධන බැංකුව සමඟ පැවැත්වූ සාකච්ඡාවක ප්‍රතිඑලයක් ලෙස ඇ.ඩො.මිලියන 100ක මුදලක් මෙරටට ලැබී ඇත.

ඒ පිළිබඳව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුනේ මෙසේය.

“පසුගිය 18 වන සිනා උදෑසනින් ම, සමස්ත ශ්‍රී ලාංකිකයන් උදෙසා අසන්නට ලැබුණු සතුටුදායක පුවත ගැන සමහරවිට ඔබ නොදන්නවා වන්නට පුළුවනි. ආසියානු සංවර්ධන බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඇ.ඩො.මිලියන 100ක ණයක් ලැබුණා. එය මා විසින් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ දී ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ කාර්මාන්තකරුවන්ද සහභාගීකර ගනිමින්, ආසියානු සංවර්ධන බැංකුවේ මෙරට අධ්‍යක්ෂ තකෆුමි කදෝනෝ මහතා ප්‍රමුඛ නියෝජිතයන් සමඟ කළ සාකච්ජාවටවලින් පසුව, අපේ රටට ලැබුණු ණය මුදලක් බව මා සඳහන් කරන්නේ ඉමහත් සතුටින්.

ණයක් ලබා ගැනීම, සතුටු වන්නට කරුණක් දැයි ඔබෙන් සමහරෙක් විමසාවි. මේ මොහොතේ අපේ රටේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් වැටී ඇති තත්ත්වය දෙස බලන විට, මා සිතන්නේ උක්ත ණය පිළිබඳ අපට සතුටු විය හැකි බව යි.

පාස්කු ප්‍රහාරය, කොවිඩ් වසංගතය සහ ආර්ථික බංකොලොත්භාවය හමුවේ ඇතැම් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඔවුන් විසින් බැංකුවලින් ලබා ගත් ණය මුදල් ගෙවා ගැනීමට අසීරු වී තිබෙනවා.

එමෙන් ම පරාටේ නීතිය හරහා ඔවුන්ගේ දේපල, වත්කම් බැංකු සහ මූල්‍ය ආයතනවලින් පවරා ගන්නට සූදානම් වුණා. එම නිසා ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගත් මේ ඩොලර් මිලියන 100, කඩා වැටුණු ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට විශාල සවියක්.

මෙම ණය මුදල මත පදනම් ව, මෙරට බැංකු 13ක් හරහා ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තම ව්‍යාපාර නැවත නගා සිටුවීම සඳහා ණය සහතිකයක් මෙන් ම සහන පොලියට ණය ලබා ගත හැකි වැඩසටහනකුත් ක්‍රියාත්මක කළ හැකි බව අප පසුගිය ඔක්තෝබර් මාසයේ දී සාකච්ඡා කළා.

අපේ රටේ ආර්ථිකයේ පෙරගමන්කරුවන් වන්නේ ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වන නිසා, ඔවුන්ව නඟා සිටුවීම, මෙරට සමස්ත ආර්ථිකය නඟා සිටුවීම වෙනුවෙන් ඉතා වැදගත් කරුණක්.

පවතින ආර්ථික බංකොලොත්භාවය සහ අස්ථාවරත්වය ගැන කතා පවත්වමින්, ඔබව සුරංගනා ලෝකවල සැතපවීම මාගේ ක්‍රමය නොවේ. මෙය, නිසියාකාර වැඩපිළිවෙළක් මඟින්, මේ ආර්ථික නරාවලෙන් අපේ රට ගොඩ ගන්නට අප හට හැකි බව මා සහ මගේ කණ්ඩායම විසින් ඔප්පු කළ තවත් එක් අවස්ථාවක් පමණයි.

මම, සජිත් ප්‍රේමදාස”