ලෝකවාසී සමස්ත හින්දු ජනතාව මහත් භක්තියෙන් සමරන තෛපොංගල් මංගල්‍යය අදට යෙදී තිබේ. කෘෂිකාර්මික ජන ජීවිතයකට උරුමකම් කියන හින්දු ජනතාව, සෞභාග්‍යවත් නව වසරේ සූර්ය දිව්‍යරාජයා වෙත ප්‍රථම අස්වැන්න පූජා කිරීම මුල් කොට ගනිමින් මෙම මංගල්‍යය පැවැත්වෙන අතර එය චිරාත් චිරාත් කාලයක් තිස්සේ හින්දු බැතිමතුන් ඉමහත් ගෞරවයෙන් පවත්වාගෙන ආ උත්සවයකි.මනුෂ්‍ය වර්ගයාටත්, සතා සිවුපාවාට මෙන්ම සොබාදහමට මෛත්‍රීය, කරුණාව දැක්වීම ස්වකීය පරමාර්ථ කර ගනිමින් ලෝ වාසී හින්දු ජනයා මෙම උත්සවය සමරනු ලබයි. මිනිස් වර්ගයා අතර  සුහදත්වය මෙන්ම, අන්‍යෝන්‍ය අවබෝධය උදා කර ගත හැකි අවස්ථාවක් ලෙසද තෛපොංගල් උත්සවය හඳුන්වා දිය හැක.

තෛයි පොංගල් දිනයේ නිවෙස් සහ පූජනීය ස්ථාන කෝලම් හෝ රන්ගෝලි වලින් සරසයි. මෙම උත්සවයේ ප්‍රධාන සිරිත වන්නේ පොංගල් බත පිළියෙල කිරීමයි. එය එළිමහනේ අලංකාර මැටි බඳුනක පිසිනු ලබයි.  පළමු පූජාව සූර්ය දෙවියන්ට පිලිගැන්වීම සාමාන්‍ය සම්ප්‍රදායයි.

ඉමහත් ගෞරවයෙන් පිසිනු ලබන පොංගල් බත අසල්වැසියන් සමඟ ද බෙදා හදා ගනිමින් අන්‍යෝන්‍ය සුහදතාවය,ආගන්තුක සත්කාරය, මිත්‍රත්වය සහ සංහිදියාව අර්ථවත්ව පිළිබිඹු කිරීමට ද තෛපොංගල් උත්සවය ඉවහල්වේ.

එමෙන්ම සොබාදහමට වඩ වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබෙන වකවානුවක ,සොබාදහම හා බැදුනු තෛපොංගල් වැනි සංස්කෘතික උත්සව අවශ්‍යයෙන්ම වඩා අර්ථයක් එක් කරයි.

මිනිස් වර්ගයා අතර සුහදශීලී දිවිපෙවතක් වෙනුවෙන් රුකුල් දෙන මෙවන් අපූරු උත්සවවල අර්ථාන්විත වටිනාකම සුළුපටු නොවේ.

මිනිස් වර්ගයාටත් සත්වයින්ටත් සොබාදහමට ගරු බුහුමන් පුදන බැතිබර සහ ප්‍රීතිමත් තෛපොංගල් දිනයක් වේවා.

සජිත් ප්‍රේමදාස  

විපක්ෂ නායක