උඩරට පහතරට වතු කේන්ද්‍රිය ප්‍රජාවට අලුත් ආරම්භයක් අලුත් ගමනක් හා වසර 200ක මෙරට ඉතිහාසය තුළ නැවුම් පරිච්ඡේදයක් නිර්මාණය වන බවත් රණසිංහ ප්‍රේමදාස මහතා මෙරට වතු ප්‍රජාවට විශේෂ සේවා රැසක් ඉටු කළ කරමින් වතු ප්‍රජාවට පුරවැසි භාවය ලබා දුන්නත් පුරවැසිභාවයත් සමඟ අප රටේ පුරවැසියන්ට ලැබිය යුතු ශක්තිය, වරප්‍රසාද හා අවස්ථා මේ වන තෙක් ලැබී නොමැති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ඒ අනුව උඩරට හා පහතරට වතු ප්‍රජාව සමඟ සමාජ ගිවිසුමකටම සමගි ජන බලවේගය ප්‍රවේශ වූ බවත් මෙම ප්‍රජාවගේ අඩුපාඩු විසදීමේ ඓතිහාසික අවබෝධතාවට ප්‍රවේශ වූ බවත් මෙය මැති ඇමතිකම් හෝ සභාපතිකම් හෝ දේශාපලනඥයන්ට ලැබිය යුතු වරප්‍රසාද වෙනුවෙන් සිදු නොවන බවත් මේ සමාජ ගිවිසුම තුළ නිර්මාණය වී ඇත්තේ වතු ප්‍රජාවගේ දේශපාලන ආර්ථික සමාජීය සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එම ප්‍රජාව සවිබල ගැන්වීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ උඩරට හා පහතරට වතු ප්‍රජාව වෙනුවෙන් ප්‍රඥප්තියක් අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මේ ජනතාවට අහිමි වූ අවස්ථා බොහෝමයක් ඇති නිසා ඒවා ඉවත් කර එම ප්‍රජාවට හිමිකමක් ලබා දෙන වැදගත් ගිවිසුමකට ප්‍රවේශ වන බවත් මෙරට ඉතිහාසයේ උඩරට පහතරට ඇතුළු වතු ප්‍රජාවට කළ හැකි උපරිම සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක කරන බවත් මේ ක්ෂේත්‍රය වෙනුවෙන් ජනාධිපති කාර්ය සාධන බලකායක් තමා බලයට පත් වී පැය 48ක් තුළ ස්ථාපිත කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පොරොන්දු විය.

එසේ ම මේ අහිංසක වතු ප්‍රජාව විවිධ දේශපාලන උප්පරවැට්ටි නිසා, කූඨ දේශපාලන ක්‍රමෝපායන් නිසා අසරණ වී ඇති බැවින් මේ අයගේ පුරවැසිභාවයට අලුත් අරුතක් ලබා දී ලැයිම් කාමරයට සීමා නොකර කුඩා තේ වතු හිමියෙක්, ඉඩමක හා ප්‍රාග්ධනයක අයිතියක් ඇති අයකු බවට පත් කර ආදායම් මාර්ග වර්ධනය කර ජාතික තේ නිෂ්පාදනයට ලබා දෙන දායකත්වය ද වැඩි කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.

එමෙන් ම බොරු පොරොන්දුවලට රැවටෙන සදාකාලික කම්කරු ජීවිතයක් නොව මේ ප්‍රජාවගේ අයිතීන් ශක්තිමත් කරන ජනතා සවිබල ගැන්වීමක් සිදු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩදුරටත් පැවසීය.

මේ ප්‍රඥප්තිය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා, පලනි දිගම්බරම් මහතා සහ එම්. උදයකුමාර යනාදී වතු ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අත්සන් තබන ලදී.