රුපියල් 20,000 කින් වැටුප් වැඩි කරන ලෙස රාජ්‍ය සේවකයින් කරන ඉල්ලීම සාධාරණ බවත් බොරු නොකර රාජ්‍ය සේවක වැටුප වැඩි කරන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් සමගි ජනබලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවැසීය.

අවසන් වරට රාජ්‍ය සේවකින්ට වැටුප් වැඩි කළේ 2015 යහපාලන ආණ්ඩුවෙන් බවත් එදායින් පසුව රජ්‍ය සේවක වැටුප් වැඩි නොවුණ බවත් මද්දුම බණ්ඩාර හෙතෙම සඳහන් කළේය.

ආර්ථික පීඩනය දරා ගැනීමට නොහැකිවීම හේතුවෙන් රාජ්‍ය සේවකයින් පාරට බැස උද්ඝෝෂණය කරන බවත් එම රාජ්‍ය සේවකයින්ගේ උද්ඝෝෂණවලට කඳුලු ගෑස් ජල ප්‍රහාර එල්ල නොකරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් රජය උත්සහ කරන්නේ උද්ඝෝෂණ , විරෝධතා කෙසේ හෝ මර්ධනය කරන්න බවත් රංජිත් මද්දුම බණ්ඩාර මහතා කීය.

රංජිත් මද්දුම බණ්ඩාර මහතා මේ බව සඳහන් කළේ අද (31) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් මද්දුම බණ්ඩාර මහතා මෙසේ පැවැසීය.

ලක්ෂ 14 කට වැඩියෙන් සිටින රාජ්‍ය සේවයේ නිලධාරීන් රාජ්‍ය සේවකයින් වැඩි පඩි ඉල්ලලා පාරට බැහැලා තිබෙනවා. රාජ්‍ය සේවකයින් සාධාරණ ඉල්ලීමක් කරලා තිබෙනවා අවම වශයෙන් 20,000 කින් පඩිය වැඩි කරන්න කියලා.

2016 වනවිට පෙට්ට්‍රල් ලීටරය තිබ්බේ 117 ට අද පෙට්ට්‍රල් ලීටරය 361 ක් වෙලා. ඩීසල් ලීටරයක් තිබ්බේ රුපියල් 92 ට අද 341 ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. හාල්කිලෝවක් 68 තිබුණේ අද 220 ක් වෙලා තිබෙනවා. අවම බස් ගාස්තුව තිබුණේ රුපියල් 9 ට අද වෙද්දි රුපියල් 30 ක් දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ වනවිට විදුලිබිල 4 ගුණයකින් වැඩිවෙලා. ජලබිල වැඩි වෙලා. ගෑස් තුන්ගුණයකින් පමණ වැඩිවෙලා.

අවම වශයෙන් රාජ්‍ය සේවකයින්ගේ පඩිය තුන්ගුණයකින්වත් වැඩි වෙන්න ඕන. සෑම අංශයකම වියදම මේ වනවිට දරා ගැනීමට නොහැකි ලෙස වැඩිවෙලා තිබෙනවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වල , පාසල් ප්‍රවාහන රථවල , පොත් පත්වල මිල තුන් හතර ගුණයකින් වැඩි වෙලා තිබෙනවා.

රජයේ සේවක මහත්ම මහත්මීන් අද ඉල්ලන්නේ රුපියල් 20,000 කින් තමන්ගේ වැටුප වැඩි කර දෙන්න කියලා. 2015 වේදී තමයි අවසන් වරට රාජ්‍ය සේවකින්ට වැටුප් වැඩි කළේ. යහපාලන ආණ්ඩුව සියයට 107 කින් රාජ්‍ය සේවකයින්ගේ වැටුප වැඩි කළා. එදායින් පසුව ඔවුන්ගේ වැටපු වැඩි වුණේ නෑ. අතිකාල දීමනා , ගමන් දීමනා කපා හැරලා තිබෙනවා. ලක්ෂයට වැඩි වැටුප් ලබන අයගෙන් බද්දක් අය කරනවා. ආණ්ඩුව කළේ ඔවුන්ගේ ගජ මිතුන්ගේ බදු කපලා රාජ්‍ය ආදායම උපයා ගන්න රජයේ සේවකයින්ගෙන් බදු අයකර ගන්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා.

ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබෙනවා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා කියලා. කීයකින්ද රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරන්නේ. තුන් ගුණයකින් බඩුමිල වැඩි වෙලා තිබියදී හතර ගුණයකින් විදුලි බිල වැඩිවෙලා තිබියදී අනිත් වියදම් සියල්ල අසීමිතව වැඩි වෙලා තිබෙන අවස්ථාවක අපි ජනාධිපතිගෙන් අහනවා රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන්නේ කීයකින්ද කියලා.

ජනාධිපතිවරයා රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා කියලා කියද්දි ආණ්ඩුවේ ඉන්න ආර්ථික විශේෂඥ බන්දුල ගුණවර්ධන කියනවා බැරි මර ගාතේ ගෙවන වැටුප් වැඩි කරන්න බෑ කියලා. සමගි ජනබලවේගය විදිහට අපි අහනවා මොකක්ද රජයේ මේ ප්‍රතිපත්තිය. ජනාධිපතිවරයාට අපි කියනවා ජනතාව රවට්ටන්න එපා කියලා.

රටේ වැඩකරන අහිංසක මනුස්සයා වගේම රාජ්‍ය සේවකයින් හොදට කාලා බීලා හිටියා. 2015 රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩී වීමත් සමඟ ඔවුන්ට පොඩි මෝටර් රථයක් පවා ගැනීමේ වත්කමක් තිබුණා. අද ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබෙන්නේ.

රාජ්‍ය සේවකයින් ඉල්ලන ඉල්ලීම සාධාරණයි. බොරු නොකර රාජ්‍ය සේවක වැටුප වැඩි කරන්න. රනිල් වික්‍රමසිංහ කියනවා ඔහු ඇවිත් රට ගොඩ ගත්තා ආර්ථිකය ගොඩගත්තා කියලා. ගොඩ ගත්තානම් රාජ්‍ය සේවක වැටුප වැඩි කරලා දෙන්න. රටේ උද්ධමනය අඩුවුණාට හාල් කිලෝ එක , සීනි කිලෝ එක තාම අඩුවෙලා නෑ. මේ දරාගැනීමට නොහැකි ආර්ථික පීඩනය දරා ගැනීමට නොහැකි නිසා තමයි රාජ්‍ය සේවකයින් අද පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ. රජයට අපි අවධාරණය කරලා කියනවා රාජ්‍ය සේවකයින්ගේ උද්ඝෝෂණ වලට කඳුලු ගෑස් ජල ප්‍රහාර එල්ල කරන්න එපා කියලා. රජය බලන්නේ උද්ඝෝෂණ විරෝධතා කෙසේ හෝ මර්ධනය කරන්න.

රනිල් වික්‍රමසිංහ රට ගොඩ ගත්ත නිසා පෝලිම් යුගය අවසන් කියලා ආණ්ඩුවේ උදවිය ප්‍රකාශ කරනවා. 117 ට තිබුණ පෙට්ට්‍රල් ලීටරය 300 ඉක්මවලා ගියාම කවුද තෙල් ගහන්න. එතකොට කොහොමත් තෙල් පෝලිම් නෑ. වෛද්‍යවරු සති දෙකකට අවශ්‍ය බෙහෙත් ෆාමසියෙන් ගන්න දුන්නාම ජනතාව ගන්නේ දවස් 5 ක පමණයි. ජනතාවට බෙහෙත් ගන්න වත්කමක් නෑ.

විශ්‍රාමික රාජ්‍ය සේවකයින් ලක්ෂ 7 ක් පමණ සිටිනවා. ඔවුන්ට සියයට 43 කින් වැටුප් වැඩි කළා. ඔවුන්ට ලැබෙන විශ්‍රාම වැටුපෙන් ඔවුන්ට අවශ්‍ය බෙහෙත් ටික ගන්න බැරි වෙලා තිබෙනවා. බෙහෙත් මිල තුන්ගුණයකින් පමණ වැඩි වෙලා තිබෙනවා.

රාජ්‍ය සේවකයින්ට වැටුප් දෙන්න මුදල් නෑ කියලා කියනවා. බෙහෙත්වලින් , සීනිවලින් හොරකම් කරපු මුදල්වලින් රාජ්‍ය සේවක වැටුප් ලබා දෙන්න. රාජ්‍ය සේවකයින්ට 20,000 ක වැටුප් වැඩිවීම ලබාදෙන්න රජයට වියදම් වෙන්නේ බිලියන 100 ක්. රජය විදායක නිලධාරීන්ගේ වැටුපට බදු ගහලා බිලියන 140 ක ආදායමක් එකුත කරගෙන තිබෙනවා. ඒ නිසා තමයි වෛද්‍යවරු 1200 ක් , ඉන්ජිනේරුවරු 600 ක් , ඇතුළු විධායක නිලධාරීන් රට දාලා යන්නේ.

අනුර කුමාර දිසානායක පසුගියදා ඇමෙරිකාවට ගිහින් තිබුණා. ඇමරිකන් ව්‍යාප්තවාදය ගැන විවේඡනය කරපු අනුර කුමාර දිසානායක දැන් ඇමරිකන් කොඩිය යට හිටගෙන කතා කරනවා. චේ , කාල් මාක්ස් , ලෙනින් සිහිකරමින් මැයි දිනය සමරපු ජනතා විමුක්ති පෙරමුණ ඇමරිකාවට ගිහින් කියනවා වාමාංශික කඳවුරේ සියලු දෙනා සමාජවාදී කඳවුරේ සියලු දෙනා එකතු කරනවා කියලා.

ඉන්දියාව සමඟ අපි ගණුදෙනු කරන්න ඕන. ඉන්දියාව සමඟ අපි කටයුතු කරන්න ඕන කියලා. 1971 විජේවීරගේ පන්ති 5 න් එක පන්තියක් තමයි ඉන්දියානු ව්‍යාප්තවාදය. 88 89 ඉන්දියාව සමඟ 13 වැනි සංශෝධනයට සාමා ගිවිසුම් අත්සන් කරනකොට මිනිස්සු 7000 ක් මැරුවේ ජනතා විමුක්ති පෙරමුණේ පිරිස්. තේ රබර් පොල් ආර්ථිකය වෙනුවට කර්මාන්ත ආර්ථිකයක් හදන්න ඕන කියලා අනුර කුමාර දිසානායක කියනවා.

ඔහුගේ ආර්ථික දැනුමේ මට්ටම කොච්චරද කියලා එයින් පේනවා. තේ රබර් පොල් වලින් ශ්‍රී ලංකාවට සියයට 80 ක අපනයන ආර්ථිකයක් තිබුණා. කර්මාන්ත ආර්ථිකයට තිබුණේ සියයට 20 යි. රණසිංහ ප්‍රේමදාස යුගයේදී කර්මාන කලාප ඇති කරලා කර්මාන්ත ආදායම සියයට 80 ක් කරලා තේ රබර් පොල් ආදායම සියයට 20 ක් බවට පත් කළා.


ප්‍රශ්නය – රට කඩා වැටිලා තිබෙන තත්ත්වයක රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන්න පුලුවන්ද?

පිළිතුර – අපි කියනවා කඩා වැටිලා කියලා. නමුත් ආණ්ඩුව කියනවා රනිල් වික්‍රමසිංහ කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගත්තා කියලා. ජීවන වියදම වැඩිවෙද්දි ඒක රාජ්‍ය සේවකයින්ට දරා ගැනීමට නොහැකි බව ආණ්ඩුව සිතිය යුතුයි. ඔවුන්ට සාධාරණයක් ඉටු විය යුතුයි. රජයේ සේවය කරන විධායක නිලධාරීන්ගෙන් බදු අයකිරීමෙන් බිලියල 140 ක් එකතු වෙනවා. දැන් පාරට බැහැලා උද්ඝෝෂණය කරන්නේ රුපියල් 30,000 ක් 40,000 ක් වැටුප් ලබන රජයේ සේවකයෝ.

ආණ්ඩුව සෑම පැත්තකින්ම රටේ ජනතාව පීඩාවට පත් කරනවා. රටේ ආර්ථික ගැටලු වලට විසඳුම් දෙන්න ආණ්ඩුවට කරන්න පුලුවන් මොනාද?

ප්‍රශ්නය – රාජ්‍ය සේවකයෝ ලක්ෂ 14 වගේම. පෞද්ගලික අංශයේ වගේම ස්යං රැකියාවල නිරත පිරිසත් ආර්ථික ගැටලු වල පැටලීලා ඉන්නේ. රාජ්‍ය සේවකයන්ට පමණක් වැටුප් වැඩි කරන එක සාධාරණද?

පිළිතුර – පෞද්ගලික අංශයේ රැකියා ලක්ෂ 15 ක් පමණ නැති වෙලා තිබෙනවා. විදුලි බිල 4 ගුණයකින් වැඩි වෙලා , පෞද්ගලික ව්‍යාපාර කඩා වැටිලා, කර්මාන්තශාලා හිමියන් ආයතන වහලා රට යනවා. මොන්ටත් සහනයක් ලබාදිය යුතුයි. පෞද්ගලික අංශයටත් අනිවාර්යෙන් වැටුප් වැඩිවීමක් සිදු කළ යුතුයි. ඔවුන්ටත් අවසන් වරට වැටුප් වැඩිකළේ යහපාලන ආණ්ඩුවෙන්.