රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා වශයෙන් පත්වීම පැහැදිලිවම රටේ ජනතාවගේ අභිලාෂයන් පිළිබිඹු වීමක් නොවේ. මොකද ඔහු පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයෙන් පරාජය වී ජනතාව තුල ප්‍රතික්ෂේප වී සිටීම පමනක් නොව හොර පාරෙන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමින තනි මන්ත්‍රී ආසනයක් පමනක් තියාගෙන අගමැති වීම ලෝක ඉතිහාසයේ පළමු වරට වූ දෙයකි.

පාර්ලිමේන්තු මැතිවරණයකින් පරාද වෙච්ච පුද්ගලයෙක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ තනි මන්ත්‍රී ආසනයක් පමනක් තියාගෙන අගමැති වීම, මෙරට ජනතා අභිලාෂයන්ට අමු අමුවේ පහර ගැසීගැසීමක් සහ මෙරට ප්‍රජාතන්ත්‍රවාදය රට තුල මෙන්ම ජාත්‍යාන්තරයේද විහිලුවක් බවට පත් කිරීමක්ය.

🔴සජිත් සහ ස.ජ.බ, ආණ්ඩුව බාරගන්න ප්‍රමාද වුනාද ?

කෙටි පිළිතුර කොහෙත්ම නැත යන්නයි. අප ගෝඨාභය ජනාධිපතිවරයාට යෝජනා කලේ රටේ ජනතාවගේ අභිලාශයන් සහ වුවමනාවන් නියෝජනය වන මූලික යෝජනා 4ක් සහිත යෝජනාවලියකි. ඒවා පහතින් දැක්වේ.

1️⃣ නිශ්චිත අවම කාල රාමුවක් තුළ ජනාධිපති ධූරයෙන් ඉවත් වීමට එකඟ වීම (මෙය ජනතාවගේ ප්‍රධානතම ඉල්ලීමයි).

2️⃣ සති දෙකක කාලයක් තුළ සියලු පක්ෂවල සහයෝගයෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය ක්‍රියාත්මක කිරීම සහ බලාත්මක කිරීම.

3️⃣ අප විසින් දැනටමත් පාර්ලිමේන්තුවට ඉඳිරිපත් කර ගැසට් කර ඇති 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන අනූව ඉතාම අවම කාලයක් තුල සියලු පක්ෂ එක්ව සහයෝගයෙන් ක්‍රියාත්මක කිරීම.

4️⃣ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කොට නීතියේ ආධිපත්‍ය තහවුරු කොට ඉහත සඳහන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ස්ථිරසාර රජයක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම.

මේවායින් විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීම සහ 21න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය සිදුකරන බව ජනාධිපතිවරයා සිය ජාතිය ඇමතීමේ කතාවෙන්ද ප්‍රකාශයට පත්කලා. එසේනම් ඉහත යෝජනා වලට යටත්ව අද දින (13) නව ඇමති මණ්ඩලය දිව්රුම් දීමේ කටයුතු සාකච්චා කිරීමට සූදානම් බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ අත්සනින් යුතු ලිපියක් ඊයේ දින ජනාධිපතිවරයාට යවා තිබියදී ඊට පයින් ගසා, කිසිඳු කොන්දේසියක් ඉඳිරිපත් නොකල රනිල් අගමැති ලෙස පත්කිරීමෙන් පැහැදිලි වන්නේ ජනතාව බලාපොරොත්තු වන ආර්ථික ප්‍රතිසංස්කරණ දේශපාලන ප්‍රතිසංස්කරණ හෝ කිසිඳු ප්‍රශ්නයක් විසඳීමට ජනාධිපතිවරයාට සැබෑ වුවමනාවක් නොමැති බවයි.

ඉහත කොන්දේසි කිසිවක් නොමැතිව රනිල් මෙන් අගමැතිකම ගෙන ජනමතය පාවාදීමට වගකිව යුතු දේශපාලන පක්ෂයක් ලෙස අපට කිසිසේත් සිදු කල නොහැක. ශ්‍රී ලංකා නීතීඥ සංගමය, සිවිල් සංවිධාන සහ පක්ෂයේ මන්‍ත්‍රී කන්ඩායම සමග සාකච්ඡා කර ලිඛිතව අපගේ ස්ථාවරය ඉතාමත් ඉක්මනින් ජනාධිපතිවරයාට ඊයේ දින (12) දැනුවත්‍ කලා. ආණ්ඩුව ගන්න ස.ජ.බ ප්‍රමාද වුනා කියන කාරණය අමූලික බොරුවක් වන්නේ ඒ නිසයි.

මේ අතර රනිල් මැද්දට පැන කිසිඳු කොන්දේසියක් නොමැතිව අගමැතිකම බාරගැනීමෙන් සිදුව ඇත්තේ මෙම මුරණ්ඩු ජනාධිපතිවරයා ජනතා අභිලාශයන් නිරූපනය වන ඉහත කෙනේදේසි වලට එකඟ කරවා ගැනීමට සමගි ජන බලවේගය ලෙස අපට තිබූ අවස්ථාව නැති කිරීමකි. ජනමතය අමු අමුවේ පාවාදීමකි.

🔴රනිල් අගමැතිවීම ගැන ජනතාවගේ මතය

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීමෙන් පසු පොහොට්ටු රජයේ සිටි ඇතැම් දූෂිත ඇමතිවරුන්ගේ මෙන්ම රාජපක්ෂලාගේද දූෂන සහ වංචා 2015-2019 කාලයේ මෙන් ඩීල් දමා නැවත යටගසනු ඇති බවට රටේ ජනතාව තුල බලවත්‍ සැකයක් දැනටමත් මතුව ඇත. ගෝඨාභය ජනාධිපතිවරයාට රාජපක්ෂ කෙනෙක් අගමැතිකමට පත්කරගත නොහැකි වාතාවරණයක් තුල, පාර්ලිමේන්තුවේ සිටින විශ්වාසම පුද්ගලයා රනිල්වීම අහම්බයක් නොවන්නේ ඒ නිසයි.

🔴ජනතාව පමනක් නොව මෙරට ප්‍රධාන ආගමික නායකයින්ද රනිල් ප්‍රතික්ෂේප කරයි

ඒවගේම අපි දැක්කා ඊයෙ දින (12) ඕමල්පේ සෝභිත හිමිපාණන් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ ජනතාව ප්‍රතික්ෂේප කරපු නායකයෙක් බව සහ ඔවුන් රනිල් වික්‍රමසිංහව ප්‍රතික්ෂේප කරන බව. එමෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් පත්වීම මහානායක හිමිවරුන්ගේ යෝජනාවලියටද පටහැනි බවටත් වැඩිදුරටත් පැහැදිලි කලා.

🔴නව ඇමති මණ්ඩලය මොන වගේද ?

දැන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා අමාත්‍ය මණ්ඩලයක් පත් කරගන්න අවශ්‍යයයි.

🔴ස.ජ.බ මන්ත්‍රීවරුන්ගේ ස්ථාවරය ?

මට පැහැදිලිවම කියන්න පුළුවන් සමගි ජන බලවේගය මන්ත්‍රීවරු කිසිවෙක් (හරීන් ප්‍රනාන්‍දු ඇතුලුව) රනිල් වික්‍රමසිංහ මහතා සමග ආණ්ඩු හදන්න නොයන බව. මොකද ඔවුන් දන්නවා එහෙම ගියොත් එය ඔවුන් දේශපාලන වශයෙන් කරන සියදිවි නසාගැනීමක් බව. අද මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පක්ෂයේ නිල ස්ථාවරය වශයෙන් මෙය ප්‍රකාශ කලා.

මොකද අපි සමගි ජන බලවේගය සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් නිර්මාණය කිරීමට ප්‍රධාන හේතුවක් තමයි රනිල් වික්‍රමසිංහ මහතා සමග වසර 26ක් එ.ජා.ප යේ සිට අප පාක්ෂිකයන්ට තිබුන කලකිරීම්. එහෙව් එකේ ඒ රනිල් එක්ක ආණ්ඩු හදන්න ස.ජ.බ මන්ත්‍රීවරයෙක් ගියා කියන්නේ එය ඔහුගේ දේශපාලනයේ අවසානයයි. මොකද සමගි ජන බලවේගයේ පාක්ෂිකයින් කිසිකෙනෙක් රනිල් සමග ආණ්ඩු සෑදීම කිසිලෙසකින් අනුමත කරන්නේ නෑ.

🔴ශ්‍රී.ල.නි.ප ඇතුලු පක්ෂ 11, ජ.වි.පෙ සහ ද්‍රවිඩ ජාතික සංධානය ?

මේ වන විට අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පක්ෂ 11 මන්ත්‍රීවරු හතලිහට වැඩි පිරිසගේ සහය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණ සහ ද්‍රවිඩ ජාතික සංධානයේ (TNA) සහයෝගයද රනිල්ට ලබානොදෙන බව එම පක්ෂ පහැදැලිවම ප්‍රකාශ කරලා තියෙනවා. මොකද එය දේශපාලන සියදිවි නසාගැනීමක් බව ඔවුන් දන්න නිසා.

🔴ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) සහාය

එතකොට මේ තත්වය තුල ඇමතිකන් බාරගන්න ඉතුරු වෙන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ (පොහොට්ටුවේ) මන්ත්‍රීවරු පමනයි. ඔවුන් ඇමතිකන් බාරගනියිද ?

පොහොට්ටුවේ මන්ත්‍රීවරු ගෝටා රනිල් ආණ්ඩුවේ ඇමතිකන් බාරගැනීම යනු “රටේ ජනතාවගේ බලවත් අප්‍රසාදයට පත්වීම පමනක් නොව තම පාක්ෂිකයින්ගේද බලවත් අප්‍රසාදයට පත්වනු නොඅනුමානයි”. මොකද පසුගිය ජනාධිපතිවරණය වගේම පාර්ලිමේන්තු මැතිවරණ වල පොහොට්ටුවේ මැතිවරණ වේදිකාවල ප්‍රධානතම සටන් පාඨයක් වුනේ මහබැංකු බැඳුම්කර හොරුන්ට දඬුවම් කරනවා කියන කාරණයයි.

ඉතින් ඔවුන්ම මහබැංකුව කැඩුවා කියපු රනිල් සමග ආණ්ඩු කරන්න තමන් ඡන්දය දුන් පොහොට්ටු මන්ත්‍රීවරු ගියා කියන්නේ එම පොහොට්ටු මන්ත්‍රීවරු තම පාක්ෂිකයින් තුල ප්‍රතික්ෂේප වීම සහ බලවත් අප්‍රසාදයට පත්වෙනවා කියන එකයි.

එතකොට අපි කල්පනා කරල බලන්න අවශ්‍යයි නැවත ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ රෝහිත අබේගුණවර්ධන වැනි දූෂන චෝදනා තිබෙන පිරිසක් සහිතව හෝ පොහොට්ටුවේ “තරුණයි කියන මන්ත්‍රීවරු” සමග හදන ආණ්ඩුවක් පිළිගන්න මේ රටේ ජනතාව සූදානම්ද කියන එක. මේ රටේ ජනතාව බලාපොරොත්තු වූ සැබෑ වෙනස එයද ? කොහෙත්ම නැත. එය ජනතා අභිලාෂයන් අමුඅමුවේ පාවාදීමකි.

🔴ගෝටා – රනිල් ආණ්ඩුවට බහුතරය තියෙනවද ?

ස.ජ.බ, ශ්‍රී.ල.නි.ප ඇතුලු පක්ෂ 11, TNA, ජ.වි.පෙ ඇතුලු පක්ෂ කිසිවක් නව රජයේ ඇමතිධූර බාරනොගන්නවා කියන්නේ රනිල්ට පාර්ලිමේන්තුවේ බහුතරය නෑ කියන එකයි.

🔴මන්ත්‍රී වෙන්දේසිය

මේ අතර නැවත මන්‍ත්‍රීවරුන්ව මුදලට බාගැනීමේ මන්ත්‍රී වෙන්දේසියද පටන්ගෙන ඇති බවට අප වෙත අභ්‍යන්තර තොරතුරුද වාර්තා වෙමින් පවතිනවා. දැනට එක් මන්ත්‍රීවරයෙකුගේ ලන්සුව රු.ලක්ෂ 1000 ක් බවටයි වාර්තා වෙන්නේ. යම්කිසි මන්ත්‍රීවරයෙක් මුදලට විකුණුනොත් එය ඔවුන්ගේ දේශපාලනයේ අවසානය වනු නොඅනුමානයි.

🔴දින 52 කුමන්ත්‍රණයෙන් ගත හැකි පාඩම්

අපි දන්නවා 2018 ඔක්තෝබර් 26 වැනි දා සිදුවුන දින 52 කුමන්ත්‍රණය අවස්ථාවේ මෛත්‍රීපාල සිරිසේන මහතා එවකට අග්‍රාමාත්‍ය වෙලා හිටපු රනිල් වික්‍රමසිංහ මහතා අයින් කරලා පාර්ලිමේන්තුවේ බහුතරය නොතිබුනු මහින්ද රාජපක්ෂ මහතා අගමැති විදිහට පත්‍කලාම සිදුවුනදේ.

දින 52ක අස්ථාවර තත්වයකින් පස්සේ මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉඳිරිපත් වුනාම ඔහු ඉල්ලා අස්වුනා. නැවත රනිල් වික්‍රමසිංහ මහතාව අගමැති විදිහට පත්කරන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සිදුවුනා. ඒ වගේම මෙවර රනිල්ට විරුද්ධවත් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් එයි. රනිල් මේකෙන්‍ පරදිනවා. මොකද රනිල්ට පක්ෂව විශ්වාසභංගයේදී ඡන්දය දෙනවා කියන්නේ ඒක එම මන්ත්‍රීවරයා දේශපාලන වශයෙන් කරන සියදිවි නාසාගැනීමක් සහ ජනමතයට එරෙහිව යෑමක්.

🔴ඊට පස්සේ මොකද වෙන්නේ ?

ගෝඨාභය ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත හැකි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාව අගමැති වශයෙන් පත්කිරීමට සිදුවෙනවා. ඒ වගේම ජනතා අභිලාශයින් නියෝජනය කරන අප ඉඳිරිපත් කල මෙම යෝජනා වලටත් එකඟ වෙන්න සිදුවෙනවා.

ඒ පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති රනිල් අගමැති ලෙස පත්කර තවත් දින ගනනක්‍ නිකරුනේ කා දැමීමෙන් පසුවයි. එම ප්‍රමාදයේ සහ එමනිසා රට ආර්ථික වශයෙන් තවත් අස්ථාවර වීමේ වගකීම ගෝඨාභය ජනාධිපතිවරයාත්, ජනතාව වෙනුවෙන් කිසිඳු කොන්දේසියක් නොමැතිව අගමැති ධූරය භාරගෙන ජනතා අභිලාශයන් පාවාදුන් රනිල් අගමැතිවරයාත් බාරගත යුතුය.

කණිෂ්ක ලැනරෝල්.