මේවන විට රට තුළ උද්ගතව ඇති ගැටලුකාරි තත්ත්වය හමුවේ ආණ්ඩුවේ ක්‍රියාකළාපය ගැන ඔබේ අදහස ?
දැන් මුලින්ම ගත්තොත් අපේ රටේ විශාල ගැටලුවකට අපි මූණ පාලා සිටිනවා. විශේෂයෙන් එක පැත්තකින් විදුලිය එහෙමත් නැත්නම් ඉන්ධන හිඟය. අනෙක් පැත්තෙන් විදුලි කප්පාදුව. ඒ කියන්නේ අපිට තියෙන ශක්තීන් එහෙම නැත්නම් ඔය කියන බලශක්තී අපිට අහිමි වෙමින් පවතිනවා.
අනෙක් පැත්තෙන් මේ ඩොලර් හිඟය නිසා අපි දැන් ආහාර හිඟයකට මුහුණ පා මින් සිටිනවා. විශේෂයෙන් මේ සල්ලි දීලා ගත්ත පොහොර නිකන් දීමේ ප්‍රතිපත්ති නිසා මේවා වර්ධනය උනා. ඒ වගේම ඩොලර් හිඟයත් මේ හැමදේම නිසා එක පැත්තකින් මිනිසාට ජීවත්වීමට අවශ්‍ය බලශක්තිය නැතුව යනවා ඒ එක්කම ආහාර හිඟයත් ලොකුවට බලපානවා. මං හිතන්නේ රට තුළ ජීවත් වෙන්න හිතකර තත්ත්වයක් දැන් ඇති නැහැ.
අවුරුදු 72ක් විවිධ පක්ෂ රට පාලනය කරා. මේ රට මේ තරම් අසාර්ථක වීමට හේතු මොනාද ?
මෙහෙම වුණේ ඇයි කියන එක තමයි මුලින්ම අපි කතා කරන්න ඕනේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් මීට පෙර තිබිච්ච ආණ්ඩුව තමයි යහපාලන ආණ්ඩුව. එදා ඒ ආණ්ඩුව ගත්ත හැම ක්‍රියාමාර්ගයක්ම විරුද්ධ පක්ෂය වූ පොහොට්ටුව කඩාකප්පල් කරා. හැබැයි ඒ ගොල්ලෝ ඒකට සැලැස්මක් හෙව්වෙ නෑ. ඒගොල්ලන්ට ඕන වුණේ බලය ගන්න. උදාහරණයක් වශයෙන් තලවිල එහෙම නැත්නම් අපි මේ කියන පුත්තලම පැත්තෙ තියෙන විදුලි බලාගාරය හදන්න උත්සහ කරපු හැම අවස්ථාවකම කඩාකප්පල් කරා. සාම්පූර් විදුලි බලාගාරය ඔයාලට මතක ඇති.
ඒක කඩාකපල් කරාට ඒගොල්ලො ගාව සැලසුම් තිබුණෙත් නැහැ ඔන්න දැන් ඒවගේ ප්‍රතිපල. ඒ ගොල්ලෝ බලයට පත්වෙලා දැන් එයාලට දැනෙනවා උත්තර ඕනාකරන බව. දැන් අපි මේ අවස්ථාවෙදී කියන්න ඕනේ ඊළඟට බලයට පත්වෙන්නේ සමගි ජන බලවේගය නම් ඒගොල්ලන්ට තියෙනවා සැලසුම් තියෙන්න ඕන. ආණ්ඩුවක් වට්ටන එකත් ඒගොල්ලන්ගෙ යුතුකමක්. මොකද විරුද්ධ පක්ෂය හැමතිස්සෙම ආණ්ඩුවට එරෙහි වෙන එක සාමාන්‍ය දෙයක්. ඒත් ඒ වගේම ඒ ගොල්ලො තුළ ඒවට විකල්ප තියෙන්න ඕනි. බලය ගත්තට මේගොල්ලෝ තුළ සැලැස්මක් තිබුණෙ නෑ . රට ගත්තා රට ගත්තට සැලැස්මක් තිබුණෙ නෑ. කෝ අපි කියන බලශක්තියට විසඳුමක් කෝ. ඩොලර් හිඟයට විසඳුමක් කෝ. ආර්ථික අර්බුදයට විසඳුමක් කෝ. මේගොල්ලෝ මේගොල්ලෝ මේ පොහොර ගෙන්නන්නේ නැතුව ආහාර හිඟය තවත් උග්‍ර කරා.
ශ්‍රී ලංකාවේ ගමනාගමනය සහ එහි මේවන විට පවතින අර්බුදය ඔබ විග්‍රහ කරන්නේ කොහොමද ?
ගමනාගමනය කියන්නේ අපේ රැකියාවන්, අපේ භාණ්ඩ හා සේවාවන් ප්‍රවාහනය. අපි කියනවා මේ අපේ සපැයුම් දාමය. ගමනාගමනය කඩාකප්පල් වෙනවා කියලා කියන්නේ රට අක්‍රිය වෙනවා කියන එක .එතකොට රට සාර්ථකව ගමන් කරන්නේ නැහැ . රටේ නිෂ්පාදනයට මේ විදුලිය නැතුව බෑ. මේ කර්මාන්ත වහන්න වෙනවා. ඒ විතරක් නොවේ රටේ සියල්ල බිඳවැටෙනවා.
ඉන්ධන අර්බුදය දැනෙන්නේ ප්‍රවාහනයට විතරද
නෑ. මේවනවිට විදුලිය පවා රදාපවතින්නේ ඉන්ධන උඩ. අද මම විශ්වවිද්‍යාලයේදී පැය හතරක් විතර කරගන්න දෙයක් නැතුව නිකන් හිටියා. කම්පියුටර් එක ක්‍රියා කරවන්න බැරුව. මොකද අපේ හැම දත්තයක්ම දැන් අපි කම්පියුටර් ගතවෙලා. ඔන් ලයින් ක්‍රමයේදී අපිට ළමයි එක්ක විස්තර කතා කරන්න බැහැ පරිඝනකය නැතිව. මේ තත්වය නිසා සියළු පද්ධති බිඳ වැටීම අනිවාර්යයි . අද දවසේ දවස් බාගයක් විනාසයි.ඊළඟ දවසේත් බාගයක් තමයි වැඩ කරන්න වෙන්නේ.
සමහර අය කියනවා මෙවැනි අර්බුදය ඇති වූයේ කොවිඩ් නිසා කියලා. ඒක ඇත්ත ද?
පැහැදිළිවම එහෙම එකක් නෑ. කොවිඩ් කියන්නේ වසංගතයක්. ඉතිහාසයේ වසූරිය වගේ ඒවා හැදිලා තියෙනවා. එතනින් ගිහාම කොළරාව වගේ ඒවා අපේ රටේ විශාල වශයෙන් පැතිරිලා තියෙනවා. මේ වසංගත කියන ඒවා අපේ රටට අලුත් දේවල් නෙමෙයි. රටක සංවර්ධනයට සහ සෞඛ්‍ය වර්ධනයට සැලසුම් තියෙන්න ඕන. කොවිඩ් කොහොමහරි කොන්ට්‍රොල් කරගන්න පුළුවන්. මිනිස්සු කොච්චර කිව්වට පස්සේද වැක්සින් දෙන්න ගත්තේ. වැක්සින් එකෙනුත් වලිනුත් වංචා කළානේ. ඇන්ටිජෙන් වලින් කොච්චර ගැහුවද? ලෝකයේ වෙන රටවල් වසංගතය අස්සේ තමන්ගේ විදේශ සංචිත වැඩි කරගත්තා. මෙයාල කියලා ආපු දේවල් නොවේ කරන්නේ.
ඉතා ඌණ සංවර්ධිත රාජ්‍යක්ව පැවතුන බංග්ලාදේශය පවා අපිට ණය දෙන තරමට සංවර්ධණය උනා. විදේශීය රටවල් එහෙම දියුණු වෙනකොට අපිට මෙහෙම උනේ ඇයි.
ගොඩක් දේවල් බලපානවා. ගමනාගමනය ඉන් එකක්. නිෂ්පාදනය වර්ධනය කරන්න, ඒ වගේම අපේ රටේ ජාතික ධනය හොයන්න ගමනාගමනය බලපානව. මග බස් හිටියාම, මග වාහන හිටියම කම්හල් වැඩබිම් අඩාල වෙනවා. වෙන රටවල පොදු දේපල ගමනාගමනය රාජ්‍ය සතුයි. වෙලාවට එනවා වෙලාවට යනවා වෙලාවට වෙනවා. අපේ රටේ එහෙම වෙන්නේ නැහැ. සූර්ය බලය ගැන කවුද කතා කරේ ඇයි අපිට කලින් විදේශ ආධාර අරගෙන හරි ඒවා කරන්න බැරි . ලබාගත් ණය පලදායි ව්‍යාපෘතීන් සඳහා යෙදවිය යුතුයි. නාස්තිය සහ දූෂණය මුලිනුපුටා දැමිය යුතුයි. අපි මේවා කළේ නෑ. අපිකරේ මහ පාරවල් හදපු එකවිතරයි . පුදුමාකාර විදියටනෙ අපි මහ පාරවල් හදන්නේ. දැන් ඇවිල්ලා බලන්න ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට මහ පාරවල් කාපට් කරලා. විශ්වවිද්‍යාල ඇතුළේ. මේවා සම්පත් නාස්තියක් කියලා මට ඇත්තටම හිතෙනවා.
දැන් මේ රට තියෙන තැන අනුව රට දියුණු කරන්න ආණ්ඩුවට සැලැස්මක් තියෙනවා කියලා ඔබතුමා හිතනවාද?
මේ යන ලක්ෂණ අනුව පේනවා ආණ්ඩුවට කළමනාකරණය කරගන්න බැහැ. ආණ්ඩුව එතකොට තද තීරණ ගන්නවා. දේපල විකුණන්න හදනවා. ගොඩ ගන්න බැරි තත්ත්වයකට රටේ ආර්ථිකය තල්ලුකරමින් ඉන්නවා. මේ වෙනකොට කොළඹට තියෙන වටිනා ඉඩකඩම් ටික විකුණන්න ආණ්ඩුව සූදානාම්. පොස්පේට් නිධිය වගේ දේවල් පවා විකුණන්න තමයි වෙන්නේ. විකුනනවා හැර මේ ගොල්ලන්ටත් මේ වෙනකොට විකල්ප නැහැ . මේ හැමදේම වෙන්නේ සැලසුම් වල තියෙන වැරදි නිසා . කෝ වියත් මගේ සැලසුම් . වැටමාර ගැන කතා කරා. සාඩින් කර්මාන්තශාලාවක් ගැන කතා කරා . කෝ දැන් ඒවා. මේවා සැලසුම් රහිතව කළ කතා බව හොඳටම පැහැඳිළියි
පහුගිය ආණ්ඩුවල සැලසුම් ප්‍රතිඵලදායක නෑ කියලා ද ඔබ කියන්නේ?
ජේ.ආර්. බලය ගත්තා යම්කිසි දෙයක් කළා . චන්ද්‍රිකා ගත්තා එයත් යම් කිසි දෙයක් කළා. මෙයාලා විශාල ඡන්ද ප්‍රමාණයක් අරන් මොනවද කරේ. දැනෙන්න කරපු දෙයක් නෑ එන්නේ එන්න ජීවන තත්ත්වය අඩාල වෙලා ඒක තමයි මේක ගැටලුව. ජේවීපී එක කියනවා හැත්තෑ දෙකක් කරේ නෑ කියලා . ඒවා බොරුනෙ. මම විශ්ව විද්‍යාලයට ඇවිල්ල ඉගෙන ගත්තේ නිදහස් අධ්‍යාපනය නිසා. අපිට ආණ්ඩුවලින් මොනවා හරි කරා. නිදහස් වෙළඳ කළාපය ආවා. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය ගෙනාවා. ඒ හැම කෙනෙක්ටම සිංගප්පූරුවක් කරන්න බැරි වෙච්ච එක ඇත්ත. නමුත් පුළුවන් විදිහට යමක් කළා.
පවතින ඩොලර් අර්බුදය රටේ නිෂ්පාදන ක්‍රියාවලියට පැහැදිලි බලපෑමක් කරනාවා නේද?
ඔව්. පැහැඳිළිවම. රටක් විදියට අපිට අවශ්‍ය සියල්ලම රටතුළ නිපදවන්නට බෑ. වාහන සහ අමතර කොටස්,කර්මාන්ත සඳහා අමුද්‍රව්‍ය මේවා ගෙන්වන්න වෙනවා . අද වෙනකොට ඉන්ධනා විතරක් නොවේ අමතර කොටස්, ටයර් ගෙන්වන්න සල්ලි නෑ . අත්‍යවශ්‍ය භාණ්ඩ ගැනීම සඳහා ඉන්දියාවත් එක්ක බිලියන එකකට වැඩි ප්‍රමාණයක ණයක් සඳහා බැසිල් රාජපක්ෂ ඇමතිවරයා යන්න හැදුවා. නමුත් එක කල් ගියා . ටයර් වැනි දේවල් ලංකාවේ නිෂ්පාදනය කරනවා. නමුත් ඒවා ප්‍රමාණවත් නෑ. චීනෙන් ණය දුන්නට චීනයෙන් අපට කර්මාන්තශාලා හදලා දුන්නේ නෑ. අපිට මේ වෙලාවේ ඕනේ ණය නෙවෙයි. කර්මාන්තශාලායි. ඒ තාක්ශණයත් එක්කයි ඩොලර් එන්නෙ. පිටරටින් එන හැමදේම ඉදිරියේදී ගෙන්න ගන්න බැරි තත්වයක් එනවා.
ප්‍රාමාණිකයෙක් ලෙස ඉන්ධන සහ ප්‍රවාහන ගැටළුවට ඔබේ විසඳුම කුමක්ද
ගොඩක් සේවකයෝ තමන්ගේ නිවෙසින් ඈත ප්‍රදේශවල රැකියාව කරනවා. එවැනි පුද්ගලයන්ට පයින් ඇවිදගෙන යන්න පුළුවන් බොහොම කිට්ටු ප්‍රදේශවල රැකියා ලබා දෙන්න ඕන. ඒක මේ රජය විසින් සිදු කළ යුතු දෙයක්. රැකියා කරන ස්ථානයට පෞද්ගලික වාහනවලින් ගමන් කරනවා නම් ඒ සඳහා ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ. වාහනය තුළ හතර පස් දෙනෙක් වත් දාගෙන යන්න පුළුවන් වෙන්න ඔන.
ප්‍රවාහන අර්බුද පවතින කොට අනිකුත් රටවල ගොඩක් දේවල් කරනවා. ලෝකයේ බොහෝ රටවල් පාපැදිය භාවිතා කරනවා. ජනාධිපතිවරු අගමැතිවරු ඇමතිවරු පවා මෙන් අනිත් රටවල් වල පාපැදියෙන් ගමන් කරන අවස්ථා තියෙනවා. එවැනි ක්‍රමවේදයන් අපේ රටෙත් ඇති කරන්න පුළුවන්. රජයකට පහළ මට්ටමේ විසඳුම් ගන්න වෙනවා. එහෙම නැත්නම් මේ රජය ගෙනියන්න බෑ. සූර්ය බලශක්තිය වැනි දේවල් වලට එක පාරට යන්න බැහ. අපේ රට එවැනි දේවල් ගැන හිතලවත් නෑ . නමුත් ඩොලර් හොයන්න උත්සහ කරනවා. ඩොලර් හොයන්න බැරිනම් එවැනි විසඳුම්වලට යා යුතුයි.
තෙල් අර්බුදය නිසා ගමනාගමන ඇනහිටි අවස්ථාවේ දී මහජනතාවගේ රැකියාවල ඇතිවෙන ගැටලුවලට විසදුම් මොනවාද ?
විගණනය වැනි රැකියා කරන අයට , පරිගණක ක්ෂේත්‍රයේ නියැළෙන අයට තම රැකියා කටයුතු නිවසේ සිටම කරන්න පුළුවන් . පෙට්‍රල් පුච්චගෙන කාර් එකේ ඔෆිස් එකට ගිහින්ම වැඩ කරන්න ඕනේ නැති රස්සාවල් තියෙනවා . ඒ වගේම මහජනතාවත් එක්ක ගැටෙමින් රැකියා කරන පිරිස ඔවුන්ගේ නිවාස ආශ්‍රිත තියෙන ආයතන වලට යොමු කරන්න ඕනේ. අපේ රට කුඩා රටක් නිසා ගමනාගමනය නැවත ස්ථානගත කිරීමක් කළොත් මට හිතෙනවා යම්කිසි විසඳුමක් හොයාගන්න හොයාගන්න පුළුවන් කියලා. මේ ක්ෂේත්‍රවල ඉන්න විශේෂඥයෝ මැදිහත් වෙලා මේවට විසඳුම් ලබා දුන්නොත් මෙවැනි දේවල් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මහාචාර්යවරු හැටියට අපිට පුළුවන් අදහසක් දෙන්න විතරයි .