සෑම අතින්ම කඩාවැටී ඇති මේ රට නැවත ගොඩනැගිය හැකි බවත්, එහෙත් ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම් කළ යුතු බවත්, කැපකිරීම් කළ යුත්තේ ජනතාව වෙනුවට  දේශපාලනඥයින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

තිරසාර නිශ්චිත සත්‍යවාදී වැඩපිළිවෙලක් තුලින්  රට ගොඩනැඟිය යුතු බව පැවසූ විපක්ෂ නායකතුමා ඒ වෙනුවෙන් ලෝකය සමග ප්‍රශස්ත ලෙස ගනුදෙනු කළ යුතු බවද පැවසීය.

ඉතිහාසයේ කිසි දිනක විපක්ෂයකට රාජතාන්ත්‍රික මට්ටමින් රටවල් ආධාර කොට නැති බව පැවසූ විපක්ෂ නායකතුමා , සමගි ජන බලවේගය  එය වෙනස් කළ බවද පැවසීය. 

අනාගත රට ගොඩනැගීම වෙනුවෙන් ක්‍රමවත් විධිමත් සැලැස්මක් සමගි ජන බලවේගය සතු බව පැවසූ විපක්ෂ නායකතුමා දූෂණයෙන් වංචාවෙන් සහ  අල්ලසෙන් පිරුණු වර්තමාන ආණ්ඩුවට මේ රට ගොඩනැඟිය නොහැකි බව  සහතික යැයිද පැවසීය.

මේ රටේ මහජන මුදල් කොල්ල කන ලද ඩොලර් සංචිත ඇති බව පැවසූ විපක්ෂ නායකතුමා ඒවා දිනා ගැනීම වහාම කළ යුතු යැයි ද පැවසීය.

වර්තමාන ආණ්ඩුව කරන්නේ දිගින් දිගටම ජනතාව ඇන්දවීම සහ තමන්ගේ නොහැකියාව ප්‍රදර්ශනය කිරීම බව පැවසූ විපක්ෂ නායකතුමා,මේ දුර්දාන්ත ආණ්ඩුව පලවා හැරීම උදෙසා  පහළොස් වෙනිදා ලක්ෂ ගණනින් කොළඹට පැමිණෙන ලෙසද ලෙස ආරාධනා කළේය.

අද (06) මහනුවර ප්‍රදේශයේ සංචාරයක යෙදෙන අතරතුර විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.

අද පෙරවරුවේ මල්වතු අස්ගිරි මහ විහාර වෙත පැමිණි විපක්ෂ නායකතුමා ගරුතර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බැහැ දැක ආශිර්වාද ලබා ගත් අතර ඉන් අනතුරුව ගැටඹේ රාජෝපවනාරාමයට ගොස් එහි විහාරාධිපති නාහිමිපාණන් වහන්සේ ද බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.