රටේ දරුවන්ගේ සුරක්ෂිතභාවය සඳහා වර්තමාන ආණ්ඩුවට කිසිදු වැඩපිළිවෙලක් නොමැති බවත් මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ ළමා අපයෝජන 1068 ක් සිදුවෙලා තිබෙන බවත් හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල මහත්මිය පැවසුවාය.

ළමා අපයෝජන වලින් දරුවන් 12 දෙනෙකු මියගොස් තිබෙන බවත් සැප්තැම්බර් මාසයේ ළමා අපයෝජන 168 ක් සිදුවී තිබෙන බවත් අවුරුදු 16 ට අඩු දරුවන් 22 ක් මව්වරු බවට පත්වෙලා තිබෙන බවත් අතුකෝරල මහත්මිය කීවේය.

ලබන වසරේ සිට සනීපාරක්ෂක තුවා ලබාදෙන බව අධ්‍යාපන ඇමැතිවරයා පවසන බවත් විපක්ෂ නායකවරයා 2019 ජනාධිපතිවරණයේදී ඒ පිළිබඳව කතා කළ අවස්ථාවේ පැඩ් මැන් නමින් නමකුත් විපක්ෂ නායකවරයාට දැමූ බවත් ආණ්ඩුව ලැජ්ජ නැතුව ඒ ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන්ගෙන තිබෙන බවත් අතුකෝරල මහත්මිය සඳහන් කළාය.

අද (28) දින විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පළාත් සභා මන්ත්‍රිනී නිරෝෂා අතුකෝරල මහත්මිය මේ බව සඳහන් කළ අතර වැඩිදුරටත් ඒ මහත්මිය මෙසේ පැවසුවාය.

‘‘2024 අයවැය කියන්නේ ජනාධිපතිවරයා විසින් නිර්මාණය කළ සුරංගනා කතාවක්. රටට ඵලදායි කිසිදු යෝජනාවක් ඒ අයවැය යෝජනාවල දකින්න නෑ. රටේ තිබෙන ආර්ථික අර්බුදයට කිසිදු විසඳුමක් 2024 අයවැය යෝජනාවල දකින්න නෑ. ඩොලර් සහ රුපියල් උපයන්න පුලුවන් එක යෝජනාවක්වත් අයවැයේ සඳහන් වෙලා නෑ.

රටේ නිෂ්පාදව ආර්ථිකය ශක්තිමත් කරන්න විදුලිය , ඉන්ධන , ජලය යන කොටස්වල සහනය ජනතාවට ලබාදිය යුතුයි. මේ අංශ තුන සඳහා සහන ලබාදෙන්නේ නැතිව රටේ නිෂ්පාදන ආර්ථිකය ගොඩනගන්න බෑ.

රටේ තිබෙන විදුලිබිල දරාගැනීමට නොහැකිව කර්මාන්ත ශාල රැසක් වැසීයාමේ අවදානමකට පත්ව තිබෙනවා. සියයට 20 ක් කර්මාන්තශාලා වැසි ගිහින් තිබෙනවා. ඉන්ධන මිල ඉහළ යාම හමුවේ සේවා ආර්ථිකයක් ලබාදීමට නොහැකි වෙලා තිබෙනවා. රටේ නිෂ්පාදන සිදුවෙන්නේ නැති වුණාම ආනයනය සිදුවෙන්නේ නෑ. ඒ හරහා රටට පැමිණෙන විදේශ විනිමය අහිමිවෙලා තිබෙනවා.

රජය රාජ්‍ය සේවයකින්ගේ වැටුප 10,000 කින් වැඩි කළාට වැඩක් නෑ. ඊට වඩා අත්‍යාවශ්‍ය බඩුවල මිල ඉහළ ගිහින් තිබෙනවා. ඒ වගේම ජනවාරි මාසයේ සිට වැට් බද්ධ වැඩි කිරීම හරහා බඩුමිල තවත් ඉහළ යනවා. රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩිකළ පමණින් රටේ සියලු ප්‍රශ්න විසදෙන්නේ නෑ.

මහල් නිවාසවල ඉන්න පවුල් 50,000 කට උප්පු ලබාදීම , ගොවිබිම් ලක්ෂ 20 කට උප්පු ලබාදීම සහ වැඩිකරන රාජ්‍ය සේවක වැටුප ලබාදෙන්නේ අප්‍රේල් මාසයේ ඉදලා. මේ සියලු යෝජනා ඉදිරිපත් කරලා තිබෙන්නේ මැතිවරණය ඉලක්ක කරගෙන. මේ යෝජනා කිහිපය විතරයි අයවැය යෝජනාවල ගතයුතු යෝජනා විදිහට තිබෙන්නේ.

අයවැය යෝජනාවලට වෙන්කරනවා කියන මුදල් ඉලක්කම් විතරයි. මුදල් කොහෙන්ද එන්නේ ඒවා වියදම් කරන්නෙ කොහොමද කියලා වැඩපිළිවෙලක් නෑ.

වර්තමාන ආණ්ඩුව කියන්නේ රාජපක්ෂවරුන්ගේ දිගුවක්. රනිල් වික්‍රමසිංහ කියන්නේ හොරු රකින නායකයෙක්. ඩීල් දේශපාලනය හරහා රාජපක්ෂවරු සහ හොරුන්ව රකින එක තමයි රනිල් වික්‍රමසිංහ සිදුකරමින් තිබෙන්නේ. වර්තමාන ආණ්ඩුව රාජපක්ෂවරුන්ගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන අතර රට නිවැරදි වැඩපිළිවෙලකට ගන්න වර්තමාන ආණ්ඩුව කටයුතු කරන්නේ නෑ.

රටේ දරුවන්ගේ සුරක්ෂිතභාවය අහිමිවෙලා තිබෙනවා. මේ වසරේ ජනවාරි මාසයේ සිට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ අපයෝජන 1068 ක් සිදුවෙලා තිබෙනවා. බරපතල අපයෝජන 460 ක් සිදුවෙලා තිබෙනවා. අපයෝජන වලින් දරුවන් 12 දෙනෙකු මියගොස් තිබෙනවා. සැප්තැම්බර් මාසයේ ළමා අපයෝජන 168 ක් සිදුවෙලා තිබෙනවා. අවුරුදු 16 ට අඩු දරුවන් 22 ක් මව්වරු බවට පත්වෙලා තිබෙනවා. රටේ දරන්ගේ සුරක්ෂිතභාවය සඳහා ආණ්ඩුව කිසිදු වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නෑ.

අධ්‍යාපන ඇමැතිවරයා කියනවා ලබන වසරේ සිට
සනීපාරක්ෂක තුවා සහ සපත්තු දෙනවා කියලා. සනීපාරක්ෂක තුවා ගැටලුව නිසා පාසල් දැරියන්ගෙන් සියයට 40 ක් පාසල් එන්නේ නෑ.විපක්ෂ නායකවරයා 2019 ජනාධිපතිවරණයේදී ඒ පිළිබඳව කතා කළාම පැඩ් මැන් කියලා නමුකුත් හැදුවා. විපක්ෂ නායකවරයා කියපු ඒ දේවල් අද යාථාර්ථයක් වෙලා තිබෙනවා. ආණ්ඩුව දැන් ලැජ්ජ නැතුව ඒ ප්‍රතිපත්ති අනුගමනය කරන්න පටන්ගෙන තිබෙනවා. ‘‘