විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද(09)ස්ථාවර නියෝග 27(2) යටතේ අසනු ලැබූ ප්රශ්නය !
පසුගිය දෙවසර ශ්‍රී ලංකාවේ පාසල් සිසුදරු දැරියන්ගේ අධ්‍යාපන කටයුතුවලට දැඩි බාධා එල්ල වූ කාල සීමාවක් විය. වසර එකහමාරක් පමණ පැවති කොවිඩ් වසංගතය, ප්‍රවාහන අර්බුදය සහ ගුරු වැටුප් විෂමතා කාලීනව නොවිසඳීම හේතුවෙන් කලක් පාසල් වසා තැබීමට සිදුවීම නිසා සියළු ශ්‍රේණිවල පාසල් සිසුන්ට සිය විෂය නිර්දේශයන් නිසි පරිදි ආවරණය කරගැනීමට නොහැකි වී ඇත. එමෙන්ම, වාර විභාග බොහොමයක් නොපැවැත්වීම, ප්‍රායෝගික පුහුණු අඩාල වීම, මාර්ගගත අධ්‍යාපනය තුළින් අධ්‍යාපන විෂමතාව තවදුරටත් වර්ධනය වීම අධ්‍යාපන ක්ෂේත්රයේ අර්බුදය තීව්ර කිරීමට හේතු වී ඇත. විශේෂයෙන්ම, අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මෙවර මුහුණ දෙන සිසුන් මෙම ගැටලු නිසා දැඩි අසීරුතාවයන්ට මුහුණ දෙමින් සිටියි.
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය නොවැම්බර් අග ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරනු ලැබිණි. ඒ අනුව, තව මාස තුනක කාලයක් පමණක් විභාගය සඳහා සූදානම් වීමට ඉතිරිව ඇත. බොහෝ පාසල් වල තවමත් විෂය නිර්දේශ ආවරණය කර නොමැති බවත්, වාර විභාග සහ ප්‍රායෝගික පුහුණු පැවැත්වීමට ඉතිරි කාලය ප්‍රමාණවත් නොවන බවත් වාර්තා වේ.
රජයේ එනම් අධ්‍යාපන අමාත්‍යාංශයේ වගකීම සැමට සම අධ්‍යාපන අවස්ථා සැලසීමත්, අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමත් ය. ආර්ථික හා සමාජමය වශයෙන් අඩු වරප්‍රසාද ලත් සිසුන් මෙම අර්බුද සමයේ වැඩිවශයෙන් අපහසුතාවයන්ට ලක්ව සිටින අතර, මාර්ගගත අධ්‍යාපනය සඳහා පවා ඔවුන්ට හිමිවූයේ අඩු ප්රවේශයකි. විභාග හැකි ඉක්මනින් පැවැත්වීම අත්‍යාවශ්‍ය බව පිළිගන්නා අතරම, මෙම විභාග නිසි සැලසුමකින් තොරව පැවැත්වීමෙන් ආර්ථික, සමාජ මෙන්ම අධ්‍යාපනික විෂමතාවයන් ද තවදුරටත් පුළුල් වනු ඇත.
ඒ අනුව, මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත සඳහන් ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.1) සාමාන්‍යයෙන් උසස් පෙළ සිසුවෙක් වාර විභාග 6කට මුහුණ දිය යුතු නමුත් කොළඹ ප්‍රධාන ම පාසල් වල පවා 2022 උසස් පෙළ සිසුන් මුහුණ දී ඇත්තේ වාර විභාග දෙකකට පමණි. සාමාන්‍ය පරිදි පාසල් පැවැත්වෙන විට උසස්පෙළ සිසුන් වාර විභාග වලට මුහුණ දී නැත්නම් විභාගය සදහා අයදුම්පත් ලබාදීමට විදුහල්පතිවරුන් අදිමදි කරති. මෙලෙස වාර විභාග 6කට මුහුණ දීමෙන් බලාපොරොත්තු වන්නේ විභාගය සදහා සූදානම් කිරීමත්, සිසුවාගේ මනස තුළ ඊට අවශ්‍ය වටපිටාව සෑදීමත් ය. අධ්‍යාපන අමාත්‍යාංශය මේ පිළිබඳ අවධානය යොමුකර තිබේ ද? මේ සඳහා යෝජනා කරන විසඳුම් මොනවා ද?
2) ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් ප්‍රශ්න ලබා දෙන විෂයන් (ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණවේදය) සඳහා සිසුන් පාසල් ගොස් එම පරීක්ෂණ කටයුතු සිදු කර පුහුණු විය යුතු අතර, එලෙස සිසුන්ට පුහුණු වීමට අවස්ථාව මෙම වසරේ නොලැබුණි. එසේම චිත්‍ර, නැටුම්, සංගීතය, ඉංජිනේරු තාක්ෂණවේදය, ජෛව පද්ධති තාක්ෂණවේදය වැනි ප්රායෝගිකවම සිදු කළ යුතු විෂයන් කිසිසේත් ම මාර්ගගත ක්‍රමයට හැදෑරීම අපහසුය. එම විෂයයන් සඳහා ද මෙම වසර තුළ දීම ප්‍රායෝගික ක්‍රියාකාරකම් පැවැත්වීමට රජය කටයුතු කරන්නේ ද? එයින් සිසුන්ට අසාධාරණයක් නොවන්නේ ද? මේ සඳහා රජයේ වැඩසටහන කුමක් ද?
3) සාමාන්‍යයෙන් ප්‍රතිඵල ලැබී මාස 6කට පසු ඊළඟ උසස් පෙළ විභාගය පැවැත්වෙන අතර, 2021 උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කෙරෙන්නේ අගෝස්තු මස වන අතර, බලධාරීන් ඊට මාස තුනකට පසුව 2022 උසස් පෙළ විභාගය පැවැත්වීමට යෝජනා කර තිබීම උසස් පෙළ සිසුන් දැඩිව මානසිකව වැටීමට හේතු වී ඇත. එනම්, මෙවර 2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමටත් පෙර 2022 විභාගය සඳහා අයදුම්පත් කැඳවා ඇත. ඒ අනුව, 2021 ප්‍රතිඵල අනුව 2022 උසස් පෙළ නැවත පෙනී සිටීමට තීරණය කරන සිසුවෙකුට ඒ සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් නොලැබෙනු ඇත. අධ්‍යාපන අමාත්‍යාංශය විභාග පවත්වන දින වකවානු තීරණය කිරීමේ දී මෙම කරුණු සැලකිල්ලට ගනු ලැබුවේ ද? එසේනම්, මේ සඳහා ලබා දෙන විසඳුම් මොනවා ද? පෙර වසරේ විභාගය පැවැත්වූ කාලසටහනට අනුවම මේ වසරේත් විභාගය පැවැත්වීමට ඇති බාධාව කුමක් ද?
4) ඉදිරි මාස තුනක කාලය තුළ ද උසස් පෙළ විභාගය සඳහා සූදානම් වීමේ දී රටේ පවතින අර්බුදකාරී තත්ත්වය අනුව විෂය නිර්දේශ ආවරණය, වාර විභාග සහ ප්‍රායෝගික පුහුණු සම්පූර්ණ කිරීමේ හැකියාව සැක සහිතය. අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරි කාලයේ ඇති විය හැකි තත්ත්වයන් පුරෝකථනය කොට නිසි සැලසුමක් සහිතව ඉදිරි විභාග සහ එම විභාග අධ්‍යයන වැඩසටහන් සකස් කළ යුතු ය. උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ අධ්‍යයන වැඩසටහන් සම්බන්ධයෙන් එවන් අධ්‍යයනයක් අධ්‍යාපන අමාත්‍යංශය සිදුකර තිබේ ද? ඒ අනුව, විෂය නිර්දේශ සංශෝධනය කිරීමට අමාත්‍යාංශය සැලසුම් කර තිබේ ද? එසේ නැතහොත් ඉදිරියේ දී ද මෙලෙසම අධ්‍යාපන ක්ෂේත්රයට සහ විභාග පැවැත්වීමේ කටයුතු සඳහා බාධා එල්ල වුවහොත් ඒ සඳහා වගකියන්නේ කවු ද?
සජිත් ප්‍රේමදාස (පා.ම.)
විපක්ෂ නායක