අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසන බවත් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන අධිකරණ ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඔවුන් සමඟ විවාදයක් පැවැත්වීමට තමා සූදානම් බවත් නිතීඥ අජිත් පී පෙරේරා මහතා සඳහන් කළේය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ අජිත් පී පෙරේරා මහතා මේ බව සඳහන් කළේය.

එමෙන්ම, ලංකාවේ බලශක්ති ක්ශ්‍රේත්‍රය සතුව තිබෙන රටේ පුරවැසියන් සතු වටිනා සම්පත් තරගකාරි නොවන ක්‍රම වලට විදේශීය සමාගම්වලට ලබාදීමට වර්තමාන රජය කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ අජිත් පී පෙරේරා මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ අජිත් පී පෙරේරා මෙසේ පැවැසීය.

“මැයි දිනයේදී ජනතා විමුක්ති පෙරමුණේ ලාල් කාන්ත මහත්තයා ජනතාවට නඩු ඇසිමේ බලය ලබාදෙන බව සදහන් කළා. ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ සාමාජිකයන්ට නඩු ඇසිමේ බලය ලබාදෙන බව ලාල්කාන්ත පැවසුවා. 71 , 88 , 89 ,90 ජනතා විමුක්ති පෙරමුණ ත්‍රස්තවාදි කටයුතු වල නිරත වුණා. ප්‍රජාතන්තාවාදී දේශපාලනයට පැමිණියායැයි රටේ ජනතාව විශ්වාස කරපු ජනතා විමුක්ති පෙරමුණේ ගති නැවත මතුවී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණ රජයක් යටතේ ජනතා විමුක්ති පෙරමුණේ පක්ෂ සාමාජිකයන්ට නඩු ඇසිමේ බලය ලබාදෙන බව ප්‍රකාශ කරනවා.

ලාල්කාන්තගේ මේ ප්‍රකාශයට රටේ විද්වතුන්, මහජනතාව බරපතල විරෝධයක් දැක්වුවා. ජනතා විමුක්ති පෙරමුණ සිල් රෙද්දකින් වහගෙන හිටපු වෘකයා එළියට පැන්නා. ලාල්කාන්ත මේ ප්‍රකාශය ගැන කිසිදු පශ්චත්තාපයක් නෑ. නමුත් අනුර කුමාර දිසානායක කියනවා ලාල්කාන්ත කතා කළේ සමතමණ්ඩල ගැන බවත් සමත මණ්ඩල වලින් එලෙස ප්‍රශ්න විසදන්න පුලුවන් කියලා පවසනවා. ජනතා විමුක්ති පෙරමුණේ නීතිඥ සංගමය කියනවා ලාල්කාන්ත කතා කළේ ජුරි ක්‍රමය මගින් නඩු අහන විදිහ පිළිබඳව කියලා.

ජනතා විමුක්ති පෙරමුණ කියන සමතමණ්ඩලය, ගොවිජන සේවා කමිටු දැනට තිබෙනවා. මේවා අලුතින් හදුන්වා දෙන්න අවශ්‍ය නෑ. ඒ වගේම රටේ විදිමත් අධිකරණ පද්ධතියක් තිබෙනවා. මෑත කාලින නඩු වලින් පෙණුනා ස්වාධීන අධිකරණයක් රට තුළ ක්‍රියාත්මක වෙනවා කියලා. ආණ්ඩුවේ ඇමැතිවරයෙකුගේ ඇමැතිධුරය අහෝසි කරන්න, විධායකය ගැන නඩු තීන්දු දෙන්න හැකි ශක්තිමත් අධිකරණ පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක වෙනවා. සමතමණ්ඩලයේ සිට ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා විදිමත් අධිකරණ පද්ධතියක් රට තුළ ක්‍රියාත්මක වෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ කියන යුක්තිය පසඳලීමට තිබෙන විකල්ප ක්‍රමය කුමක්ද , ජනතා විමුක්ති පෙරමුණ කියනවා අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කරනවා කියලා. එහෙම ප්‍රතිසංස්කරණ මාලාවක් තිබෙනවානම් ඉදිරිපත් කරන්න. රටේ අධිකරණ පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ යුතුයි. අධිකරණ පද්ධතියට තව පහසුකම් ලබාදිය යුතුයි. තව අධිකරණ පිහිටවිට යුතුයි. ඉක්මනින් නඩු විභාග කිරිමට කාර්ය පටිපාටික ප්‍රතිසංස්කරණ ඇති කළ යුතුයි. අධිකරණ පද්ධතිය වැඩිදියුණු කරන්න අපි කටයුතු කළ යුතුයි.

ජනතා විමුක්ති පෙරමුණ ජනතාව හරහා අනුමත කරගැනීමට අපෙක්ෂා කරන අපි අහලා නැති ලෝකයේ නැති , ලෝකයේ ක්‍රියාත්මක නොවන ගමේ සමාජිකයන්ට නඩු අහන බලය පවරන විකල්ප යුක්තිය පසදලිමේ ක්‍රමය ජනතා විමුක්ති පෙරමුණ ප්‍රකාශයට පත් කළ යුතුයි.

ලාල්කාන්ත සහ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන අධිකරණ ප්‍රතිසංස්කරණ පිළිබඳව විවාදයකට පැමිණෙන ලෙස සුහද ආරාධනාවක් කරනවා. ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරන විකල්ප අධිකරණ යෝජනාමාලව සමාජයටත් ඉදිරිපත් කරන්න. එවිට විද්වතුන්ට , ජනතාවට ඒ ගැන සාකච්ඡා කරන්න පුලුවන්”