රටෙන් බාගයක් දුප්පතුන් වෙලා. ඒකට විසඳුම් සොයනවා වෙනුවට කුහක කයිවාරුකාරයෝ ව්‍යාජ ප්‍රවෘත්ති මවමින් ජනතාව රවට්ටනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

ලර්න් ඒෂියා සංගණනයට අනුව අපේ රටේ දුප්පත් ප්‍රජාව ලක්ෂ 30 සිට ලක්ෂ 70 දක්වා වැඩි වී ඇති බවත් සංගණනය කරන අවස්ථාවේ රටේ ජනගහනය දෙස බැලූ විට දළ වශයෙන් තුනෙන් එකක් දුප්පත් වී ඇති බවත් මේ මොහොත වන විට හරි අඩකට ආසන්න ප්‍රමාණයක් දුප්පත් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ දුප්පත්කමට රටේ වත්මන් පාලකයන් හරිහමන් විසදුමක් ලබා නොදුන්නත් සමගි ජන බලවේග රජයක් තුළ රටේම දුප්පත්කම තුරන් කිරිමට නව වැඩසටහනක් දියත් කරන බවත් ඒ යටතේ පරිභෝජනය, ආයෝජනය, ඉතිරි කිරිම හා නිෂ්පාදනය සඳහා දිරිය ශක්තිය ලබා දෙමින් දුගී දුප්පත්කම තුරන් කිරීමේ ජාතික වැඩසටහනක් දැනටමත් සකස් කරමින් යන බවත් එය නුදුරු දිනකදී එළිදක්වන බවත් ඒ වැඩසටහනට අනුව කාගේවත් වහලෙක්, අතකොලුවෙක්, ආඥාදායකත්වයකට යටත් නොවී ස්වෝත්සාහයෙන් දෙපයින් නැගී සිටිය හැකි ජන කොට්ඨාසායක් බවට රටේ ජනතාව පත් කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම අනුර කුමාර දිසානායක මහතා ඉගෙන ගත්, දරුවන් 3500ක් අධ්‍යාපනය ලබන තඹුත්තේගම මහා විද්‍යාලයට සජිත් දුන්න බස් රථය රියදුරු කෙනෙක් නොමැතිව දිරා පත් වෙන බවට පසුගිය දවසක එක්තරා කුහකයෙක් පුවත්පතකට ප්‍රකාශයක් දී ඇති බවත් ඒ ගැන සොයා බලන විට එම පාසලේ දරුවන් ත්‍රිකුණාමලයේ පැවැති බාලදක්ෂ ජම්බෝරියට පවා ගොස් ඇත්තේ එම බස් රථයෙන් බවත් මෙවැනි තත්ත්වයක් තිබියදී බොරු ප්‍රවෘත්ති මවා ව්‍යාජ ජනමත ගොඩනගන්න ආරම්භ කර ඇති මුත් ඒවාට නොසැලී 81 වැනි බස් රථය ලබා දීමේ ගමන ලබන සතියේ සිට ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ කර්මාන්තශාලා ගිනි තියපු පුද්ගලයන්ම අද ව්‍යාජ ප්‍රවෘත්ති ඉදිරිපත් කරමින් දරුවන් වෙනුවෙන් ලබා දෙන බස් රථ වැඩසටහන් සඳහා ද අකුල් හෙළන බවත් මොවුන් නතර කළ සහ නතර කිරිමට උත්සාහ කරන මේ සංවර්ධනය කෙසේ හෝ නැවතත් ආරම්භ කරන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ  ඊයේ (25) කඩවත මහර පැවැති ජන පවුර වැඩසටහන හා එක්වෙමිනි.

ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ දොරටු පාලකයෝ නොවෙයි

එසේම සමගි ජන බලවේගය තුළ දිනන අය මෙන්ම පසුබෑමට ලක්වන අය මෙන්ම බිම් මට්ටමේ නායකයන්, සංවිධායකවරුන් හා පොදුජනතාව රටේ සංවර්ධන ක්‍රියාවලියේ පෙරමගකරුවන් බවට පත් කරන බවත් පැවසු විපක්ෂ නායකවරයා කියා සිටියේ තමාට අගමැති, ජනාධිපතිකම් බාර ගැනීමට හැකියාව තිබුණත් එය සිදු නොකලේ හොරු සමඟ තමාට ඩීල් නැති නිසා බව යි.

තමා ජනාධිපති වූවා නම් බෙහෙත් වංචා කළ කෙහෙලියට පක්ෂව ඡන්දය ලබා දෙන්න සිදු වෙන බවත් තමා කිසිදු අයකුට බය නොවන බවත් තමා කිසිදු දිනක රාජපක්ෂලාට එහෙයි ස්වාමීනි නොකිවූ බවත් ප්‍රේමදාසලා රාජපක්ෂලාගේ දොරටු පාලකයෝ නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.

මම පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පොඩි මිනිහාගේ ප්‍රශ්න

තමා පාර්ලිමේන්තුවේ කතා කරනවා වැඩියි කියා සමහර කුහක පිරිස් චෝදනා කරන බවත් තමා එසේ කතා කරන නිසා ජනතාව පීඩාවට පත් කරන රාජ්‍ය නිලධාරීන් ගැන පවා අනාවරණය කරන බවත් පසුගිය දා වතු ජනතාවට සහ පාසල් ළමුන්ට අපහාස කරමින් කතාවක් සිදු කළ විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා ගැන පවා තමා පාර්ලිමේන්තුවේ කතා කළ නිසා ඔහුට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට හැකි වූ බවත් තමා ප්‍රශ්න අහන්නේ පොදු ජනතාව සහ රටේ පොඩි මිනිසා වෙනුවෙන් බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

පරාටේ නීතියට දෙන සහනය ගැන අපි අවදානෙන්

දළ දේශීය නිෂ්පාදිතයට 50%ක් සහ රැකියා නියුක්තියට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට රජය කිසිදු සහනයක් ලබා නොදී පරාටේ නිතිය අනුගමනය කරන බවත් මේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙන්නැයි ඉල්ලීම් කරන සෑම අවස්ථාවේම මුදල් ඇමතිවරු බොරු කිය කියා මගහරින බවත් මුදල් ඇමතිවන ජනාධිපතිවරයා මේ කිසිදු විවාදයකට නොපැමිණියත් අවසානයේ පරාටේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙන්න කටයුතු කරන බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයකු ප්‍රකාශ කර ඇති බවත් එයට හේතුව තමා ඇතුළු විපක්ෂය ඒ වෙනුවෙන් හඬ නැගූ නිසා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

පරාටේ නීතියට තාවකාලික විරාමයක් ලබා දෙනවා සේම කාරක ප්‍රාග්ධනයක් ලබා දිය යුතු බවත් එසේ නොමැතිව ඉන් පළක් නොවන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පෙන්වා දුන්නේය.