ආර්ථික වශයෙන් පරිහානියකට පත්කර තිබෙන රාජ්‍යයට තිබෙන එකම විකල්පය සමගි ජන බලවේග ආණ්ඩුවක් පිහිටුවීම බව ජාත්‍යන්තරය පවා මේ වන විට පිළිගෙන තිබෙන බවත් එමනිසා විවිධ පක්ෂ, කණ්ඩායම්, පුද්ගලයින් පක්ෂය වටා එකරොක් වෙමින් තිබෙන බවත් සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පවසනවා.

සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් එරාන් වික්‍රමරත්න මහතා කියා සිටින්නේ රාජ්‍ය පාලනය නොදන්නා පාලකයන් යැපෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය ආයතනය මත පමණක්ම නිසා සහ රජය සතුව ප්‍රයෝගික සැලසුමක් නොමැති නිසා ජාත්‍යන්තර මූල්‍ය ආයතනය හොද යැයි යෝජනා කරන ඕනෑම දෙයක් පිළිගැනීමේ තත්ත්වයට මේ වන විට රට පත්වී තිබෙන බවයි.

සමගි ජන බලවේග රජයක් බලයට පත්වූ විගස ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ කොන්දේසි යළි සාකච්ජාවට බදුන් කරන බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයට ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ නියෝජිතයින් දැනටමත් කොළ එළි දල්වා තිබේන බවත් මෙමගින් ඒ මහතා දන්වා සිටී.

වැඩිදුරටත් අදහස් දක්වමින් වික්‍රමරත්න මහතා කියා සිටියේ රටේ ඉහ වහා ගොස් තිබෙන දූෂණ මර්දනයට ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් පිහිටුවීම පිළිබඳව සමගි ජන බලවේගය දීර්ඝ කාලයක සිට අවධානය යොමු කර තිබෙන බවත් මේ වන විටත් ශ්‍රී ලංකාවේ ආණ්ඩුකරණය හා රාජ්‍ය පාලනය පිළිබද ජාත්‍යන්තර මූල්‍ය ආයතනය නිකුත් කළ Sri Lanka Diagnostics Report මගින්, ශ්‍රී ලංකාවට නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව වෙනම ස්වාධීන නඩු පැවරීමේ කාර්යාලයක් පිහිටුවීමේ යෝජනාව පිළිගෙන ඇති බවත්ය.

රාජ්‍ය පාලනය දන්නා කණ්ඩායම සමඟි ජන බලවේගය සතුව සිටින බවට මෙය කදිම නිදසුනක් වන අතර එය ජාත්‍යන්තරයද පිළිගෙන ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය ආයතනයේ ස්ථාවරය සාක්ෂි දරයි.