සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මතුවී ඇති අර්බුද විසඳා ගැනීම වෙනුවෙන් ඉදිරිපත් කළ යෝජනා සහ අදහස් ක්‍රියාත්මක කිරීම තවදුරටත් ප්‍රමාද කරන්නේ නම් ජනවාරි 01 වනදා සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ, දෙසැම්බර් 27 වනදා පැවැත්වෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාවේදී ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට නියමිත බවයි.

2022 වර්ෂය ආරම්භයේ සිට මේ දක්වා විශේෂඥ වෛද්‍යවරුන් ඇතුලු 1700කට අධික වෛද්‍යවරුන් පිරිසක් රටට අහිමිවී ඇති අතර තවත් 5,000කට වැඩි වෛද්‍යවරුන් පිරිසක් නුදුරේදීම රට හැර යාමේ අවදානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරනවා.

එම සංගමය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, වෛද්‍ය හිඟය හේතුවෙන් කුඩා රෝහල් 20කට ආසන්න ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම වැසී ගොස් ඇති අතර, තවත් 400කට වැඩි රෝහල් සහ විශේෂඥ වෛද්‍ය ඒකක ප්‍රමාණයක් අඩපණ වීමේ අවදානමක් මතුවී ඇති බවයි.