මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් අද  මැතිවරණ ‍කොමිෂන් සභාවේ සාමාජිකයන් සමඟ හමුවක් පැවැත්වීමට නියමිතව තිබේ අද උදෑසන මෙම හමුව පවත්වන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමේ බලය මැතිවරණ කොමිෂන් සභාවට පැවරී ඇති අවස්ථාවකදීය.

මැතිවරණයට අදාළ මූලික ලිය කියවිලි රැසක් මේ වනවිටත් මුද්‍රණයට භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

මේ අතර ජනාධිපතිවරණය සඳහා ඇස්තමේන්තු ගත මුදල රුපියල් බිලියන 10කි.

එම මුදල් සපයාගැනීම ඇතුළු ජනාධිපතිවරණය සඳහා වැයවන මුදල නිසි කලට මහා භාණ්ඩාගරයෙන් මුදාහැරීම සම්බන්ධයෙන් මෙහිදී කරුණු සාකච්ඡා කිරීමට නියමිතය.

මැතිවරණයට අදාළව රාජයේ මුද්‍රණාලයාධිපතිනිය,පොලිස්පතිවරයා හා තැපැල්පතිවරයා ද පසුගිය දා මැතිවරණ කොමිසමට කැඳවා සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරණයට දින නියම කිරීමට එක දිනක් පමණක් තිබියදී මාධ්‍ය හමුවක් කැඳවමින් මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ජනාධිපතිවරණය මේ මස අවසන් වීමට පෙර ප්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි.