තමන් විසින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, රට සහ ආර්ථිකයටත් ඉටුකළ සේවය ඇතැම් පිරිස්වල කිසිදු අගය කිරීමකට ලක් වී නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.

ඒ අනුව තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බවද ඔහු තම සමීපතම හිතවතුන් පිරිසකට සඳහන් කර ඇත.

අද (09) දිනයේ ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත භාරදීමට නියමිත බව වාර්තා වේ. සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා විශේෂ මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද සැලසුම් කර තිබෙනවා.

මන්ත්‍රී ධුරයෙන් ඉවත් වුව ද බැසිල් රාජපක්ෂ මහතා සිය දේශපාලන කටයුතු අඛණ්ඩව සිදුකරනු ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ජයන්ත කැටගොඩ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව බැසිල් රාජපක්ෂ මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් වුණි. බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වන මන්ත්‍රී ධුරය සඳහා මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙකු වන ධම්මික පෙරේරා මහතා පත්කිරීමට නියමිත බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අදාළ මන්ත්‍රී ධුරය සඳහා ධම්මික පෙරේරා මහතාගේ නම යෝජනා කිරීමට සැලසුම් කර ඇති අතර මන්ත්‍රී ධුරය ලබාගැනීමෙන් අනතුරුව ඔහුට කැබිනට් අමාත්‍ය ධුරයක් ලබාදීමට ද නියමිත බව සඳහන්ය.