විශ්වාසනීයත්වය බරපතළ ලෙස උල්ලංඝනය වී ඇති සහ අඳුරු අතීතයක් ඇති පුද්ගලයෙකු නැවත රටේ ප්‍රධාන මූල්‍ය නියමුවා වන මහ බැංකුවේ අධිපති ලෙස පත්කිරීමට රජය කටයුතු කරන්නේනම් එය රටේ සමස්ත ජනතාවට කරන ද්‍රෝහී කමක් බවත්, ජනතාවට වගකියන විපක්ෂයක් ලෙස ඊට අපගේ බලවත් විරෝධය පලකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා මේ බව පෙන්වා දී ඇත.

එම නිවේදනය මෙසේය.

මහබැංකුව දේශපාලනීකරණයෙන් මුදවා ගනිමු!

මහ බැංකුවේ ප්‍රධාන කාර්යය වන්නේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම,බැංකු පද්ධතියේ නියමුවා ලෙස කටයුතු කිරීම සහ සමස්ත මූල්‍ය ක්‍රියාවලියේ නියමු කාර්‍යභාරය ඉටු කිරීමය.එබැවින්, රාජ්‍ය මූල්‍ය සංචිත පිළිබඳව ප්‍රතිපත්ති තීරණ ගතයුතු මහබැංකුව දේශපාලන බලපෑමෙන් වෙන්ව තබාගැනීම අනිවාර්ය කරුණකි.ස්වාධීන මහබැංකු ක්‍රියාත්මක වන සෑම රටමක සිය පුරවැසියන්ට වඩා හොඳ ආර්ථික ප්‍රතිඵල උදාකරදී ඇති බව ලොව පුරා ඇති අත්දැකීම් වලින් පෙන්වා දියහැක.

ශ්‍රී ලංකාවේ මහබැංකුවේ විශ්වාසනීයත්වයටද මරු පහරක් එල්ල කරමින් මහ බැංකු අධිපති ධුරය සඳහා අඳුරු ඉතිහාසයක් සහිත පුද්ගලයෙකුට ලබා දීමට ආණ්ඩුව තීරණයක් ගෙන ඇති අතර එමඟින්, ශ්‍රී ලංකාව පිලිබදව ජාත්‍යන්තර ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම වැලැක්විය නොහැකි වනු ඇත.

ඉතිහාසය පුරාම ඇතැම් රටවල මහබැංකු, වගකීම් විරහිත සහ අකාර්යක්ෂම මූල්‍ය ප්‍රතිපත්ති සකස් කර ඇති අතර එමඟින් පුරවැසියන් වෙනුවට තම ගජමිතුරන්ගේ සාක්කු පිරවීමට හැකි වී තිබේ. ආර්ජන්ටිනාව, හංගේරියාව, සිම්බාබ්වේ වැනි රටවල් ඊට කදිම උදාහරණ වන අතර එම රටවල් බරපතල ලෙසත්, අවාසනාවන්ත ලෙසත් ආර්ථිකව කඩා වැටී, ඉහළ උද්ධමනයකට හසුවී ඇත.

එවන් රටවල සිදුවන සංසිද්ධියම මෙරට සිදුවෙමින් පවතින අතර මෙරට මහබැංකුව සම්බන්ධයෙන් විශ්වාසනීයත්වය බරපතල ලෙස බිද වැටෙමින් තිබේ.

මෙරට මහබැංකු අධිපති ලෙස පත් කිරීමට නියමිත අජිත් නිවාඩ් කබ්රාල් එක් අතකින් පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙක් මෙන්ම එම ආණ්ඩුවේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයාද වෙයි.ස්වාධීන මහබැංකු අධිපතිවරයෙකු පත් කිරීමේ ජාත්‍යන්තර සම්මතයන් මත පදනම්ව ඔහුව මෙම තනතුර නොදැරීමට මෙයම වුවද හේතුවක් වෙයි. අපේ රට, ණය ආපසු ගෙවීමේ ගැටලුවකට මුහුණ පා සිටින වර්තමාන ආර්ථික අර්බුදය සහ බරපතල විදේශ විනිමය හිඟය තුල අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස යෝජනාකර ඔහුව පත් කිරීමෙන් ජාත්‍යන්තර මූල්‍ය ප්‍රජාවට තවදුරටත් අපේ රට පිළිබඳව ආර්ථික ව්‍යාකූලත්වයක් සහ අවිශ්වාසනීයත්වයක් ඇති කිරීමට හේතු වී තිබේ.

අජිත් නිවාඩ් කබ්රාල් මීට පෙර මහ බැංකු අධිපති ලෙස කටයුතු කළ කාලය තුළ, තෙල් සංස්ථාවට ඩොලර් මිලියන ගණනක් අහිමි වූ කුප්‍රකට හෙජින් ගනුදෙනුව, අපේ රටට ඩොලර් මිලියන ගණනක් අහිමි වූ ග්‍රීක බැඳුම්කර නිකුතුව,වැනි බොහෝ චෝදනා වලින් බරපතල කලු පැල්ලම් එකතු කොට තිබේ.වැඩකරන ජනතාවගේ සේවක අර්ථසාධක අරමුදල් සහ සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල ඔහුගේ කාලය තුළ අවභාවිත කරන ලද බවට ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.

ඔහු මහබැංකු අධිපති ලෙස කටයුතු කළ වකවානුවේ සිදුවූ සියල්ල කෝප් කමිටු වාර්තාවේ සදහන්ව තිබේ.

2019 බැඳුම්කර වෝහාරික වාර්තාව කබ්රාල් මහතාගේ ලැදියාවන් අතර ගැටුම් අනාවරණය වී ඇත.

එමෙන්ම,දැනට ඇමරිකාවේ වසර 12 ක සිර දඬුවම් විඳින ඇමරිකානු ජාතිකයෙකු වන සුබේරි නැමැත්තා සමඟ ඇමරිකානු ඩොලර් මිලියන 6.5 කට වැඩි මුදලක් අරභයා කරන ලද අනීතික ගණුදෙනු සම්බන්ධයෙන්ද එවක අධිපතිව සිටි කබ්රාල් කබ්රාල් මහතා ප්‍රමුඛ මහබැංකුවට චෝදනා එල්ල වී ඇත.

මේ මොහොතේ රට මුහුණ දී සිටින බරපතල ආර්ථික අගාධයෙන් ගොඩ ඒමටනම් ජාත්‍යන්තරව විශ්වසනීයත්වය ඇති,කලු පැල්ලම් නැති,පුද්ගලයෙකු මහබැංකු අධිපති ලෙස පත්කරනවා විනා,පෞද්ගලික දැනහැඳුනුම්කම හෝ ගජමිතුරුකම හේතුවෙන් ඔළුගෙඩි මාරු කිරීම පලදායි කටයුත්තක් නොවේ.

විශ්වාසනීයත්වය බරපතල ලෙස උල්ලංඝනය වී ඇති සහ අඳුරු අතීතයක් ඇති පුද්ගලයෙකු නැවත රටේ ප්‍රධාන මූල්‍ය නියමුවා වන මහ බැංකුවේ අධිපති ලෙස පත්කිරීමට රජය කටයුතු කරන්නේනම් එය රටේ සමස්ත ජනතාවට කරන ද්‍රෝහී කමක් බව ජනතාවට වගකියන විපක්ෂයක් ලෙස අවධාරණය කරන අතර ඊට අපගේ බලවත් විරෝධය පලකරමු.

එබැවින් අජිත් නිවාඩ් කබ්රාල්ව ශ්‍රීලංකා මහබැංකුවේ අධිපති ලෙස පත් නොකරන ලෙස ජනාධිපතිවරයාට අවධාරණය කරමු.

සටහන – CJ