විදුලි සංදේශ සංශෝධන පනත් කෙටුම්පත හරහා  නිදහස් මාධ්‍යකට අහිතකර යෝජනා රැසක් තිබෙන බවත් ඒ හරහා වන්දියක් ගෙවා තමන්ගේ මාධ්‍ය බලපත්‍රය ලබාගැනීමට සහ කොමිසන් සභාවේ තීන්දුවට අනුව මහජන යහපත ගැන තමන්ම අර්ථකථනය කර බලපත්‍ර අහෝසි කිරීමේ ප්‍රතිපාදන මේ තුල තිබෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ (15) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එතුමා මෙම කරුණ පාර්ලිමේන්තුව තුල මතුකරමින් අවධාරණය කර සිටියේ නිදහස් රටක නිදහස් නිවහල් මාධ්‍යක් තිබිය යුතු බවත් මේ සම්බන්ධයෙන් අධිකරණය හමුවට යාමට සුදානම්ව සිටින බවත්ය.

“මහජන යහපත ගැන මාධ්‍ය යහපත ගැන තීන්දු තීරණ ගැනීමට ඔබතුමන්ලට අයිතියක් නෑ” යනුවෙන් විපක්ෂ නායකවරයා ආණ්ඩුවට චෝදනා කර සිටියේය.

මිට අමතරව TRC එකේ නිලධාරීන් යොදවාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දඩයම් කිරීමේ වැඩපිළිවෙලක් ගෙන යන බවත් සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

මේ සම්බන්ධයෙන් එස් එම් මරික්කාර් මන්ත්‍රීවරයා කියා සිටියේ මාධ්‍ය ආයතන සමඟ විද්වත් කතිකාවක් පැවැත්විය යුතු බවත් ප්‍රවිනයන් සමඟ සිදුකරන විද්වත් කතිකාවකින් පසු මෙවැනි පනත් පාර්ලිමේන්තුවට ගෙන ආ යුතු බවත් එසේ විදිමත් ලෙස මෙම ක්‍රියාවලිය සිදු නොවන්නේ නම් රටේ ජනතාවට මේ සම්බන්ධයෙන්  වරදී ප්‍රතිරූපයක් ගොඩනැගිය හැකි බවත්ය.

රජය විසින් කඩිමුඩියේ ගෙන එන මෙම පනත් තුලින් සමස්ත මාධ්‍ය පද්ධතියම පුද්ගලයින් කිහිපදෙනෙකුගේ අතට පත්වියහැකි බවයි වැඩිදුරටත් මරික්කාර් මන්ත්‍රීවරයා අවධාරණය කර සිටියේ.