ගාල්ල හිනිදුම ප්‍රදේශයේ තේ ගොවීන් විසින් පොහොර ගැටලුව මුලික කර ගනිමින් විරෝධතාවයක් අද (22) දියත් කළේය. එම විරෝධතාවයට බුද්ධි අංශ නිලධාරීන් පැමිණ සිට ඇති අතර ඔවුන්ගේ අනන්‍යතාවය විමසද්දී එම ස්ථානයෙන් පලා ගොස් ඇත.

ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින් වැඩි පිරිසක් තේ ගොවින් වෙති.”පොහොර දියව්, පුළුවන් කෙනෙක්ට රට දී ගෙදර යනු ආදී ලෙසින් විවිධ විරෝධතා පාඨ මතු කරමින් ගොවීහු සිය විරෝධතා දියත් කළේය.

විරෝධතාවයට ගාල්ල හිනිදුම ගොවීන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ගොවීන් හැඬු කදුලින් පැවසුවේ තේ ගස් කහ පාට වී ඇති බවයි. “අපිට දුකයි. අපි ජිවත් වුණේ තේ ගස් ටිකෙන්. අපිට පුදුමාකාර දුකක් මේක. කාබනික පොහොරෙන් මේක කරන්න බැහැ. බඩු මිල ඉහල ගිහින්. මෙහෙ කඩ වලින් අහන්න. මම මේ හැම කඩේකටම ණයයි. ගෙදරට කන්න එළවලු ටිකත් මේ කඩෙන් ගත්තේ ණයට” යනුවෙන් එක් තේ ගොවියෙක් සිය ශෝකයෙන් කෑ ගසමින් ප්‍රකාශ කලේ හැඬු කඳුලිනි.

“අපිට අවශ්‍ය මේ වැඩේ ජනාධිපතිට කියන්න. ආණ්ඩුවට ජන්දේ දීපු අයයි මෙතන ඉන්නේ” තවත් ගොවියෙක් පැවසුවේය. තමන් පත්ව සිටින දුක්ඛිත භාවයෙන් බෙහෙවින්ම අවේගශීලිව සිටි ගොවීන් මහින්දානන්ද, බන්දුල ගුණවර්ධන යන අමාත්‍යවරුන්ගේ රුව සහිත පඹයෙක් සදා එයට පහර දෙමින් විවිධ මත ප්‍රකාශ කළේය.

මේ අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර පැවසුවේ, පාරේ ගල් ටිකක් අල්ලපු විදියට, මල් වවපු විදියට රටක් කල හැකි යැයි උන්මත්තක ආණ්ඩුව සිතූ බවය. වැඩි දුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසුවේය,
“සර් අද්දැකීම් නැහැ කියලා දැන් අඬනවා. ඔය සර් ට බැහැ කියලා අපි මුලදීම කිවුවේ ඒකයි. දැන් මෙතන ඉන්න අර මල්ලි බුද්ධි අංශෙ. වීඩියෝ කරනවා. වීඩියෝ කරලා ඕවා පෙන්නුවා කියලා මොනවා කරන්නද ? යනුවෙන් මන්ත්‍රීවරයා එසේ කියද්දී උද්ගෝෂණය වීඩියෝ කරමින් සිටි පුද්ගලයකු වීඩියෝ කිරීම නවතා එම ස්ථානයෙන් පලාගියේ පැමිණ සිටි පිරිසගේ හූ හඬ මධ්‍යයේය.

එමෙන්ම ගාල්ල හිමිදුම මේවන විට තේ කර්මාන්තශාලා කිහිපයක් බංකොලොත් වීමෙන් ද වසාදමා ඇත.