හිටපු සංකෘතික අමාත්‍යවරයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා මධ්‍යම සංකෘතික අරමුදලේ කෝටි 2500 ක් අවභාවිතා කල බව අනුර දිසානායක කියයි.

 වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා 2018.12.20 සිට 2019.11.21දින දක්වා මාස 11ක් සංස්කෘතික අමාත්‍යධූරය දැරීය. එනම් 2019 වර්ෂය තුළදී සංකෘතික අමාත්‍ය ධූරය ගරු සජිත්  ප්‍රේමදාස මැතිතුමා විසින් දැරීය. මාධ්‍යම සංකෘතික අරමුදලේ ගිණුම් වාර්තාවලට අනුව 2019 වර්ෂයේ අරමුදලේ සමසත වියදම රු. මිලියන 4026ක් හෙවත් රුපියල් කොට් 402.06කි. 

2019 වර්ෂයේ මධ්‍යම සංකෘතික අරමුදලේ සියළුම වියදම් අරමුදලේ කාර්යමණ්ඩලයට වැටුප් ගෙවීමට, අරමුදලේ ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය මට්ටමේ කාර්යාල පවත්වාගෙන යාමට මෙන්ම අරමුදල පිහිටුවීමේ පරමාර්ථ වෙනුවෙන් සඳහා වන ව්‍යාපෘති වෙනුවෙන් දරා ඇත. මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවකයන්ට වැටුප් ගෙවීම් ඇතුලු කිසිම වියදමක් සඳහා 2019 වර්ෂයේදී මහා භාණ්ඩාගාරයෙන් කිසිම මුදලක් ලබා නොදුන් අතර සියලු වියදම් අරමුදල විසින් කලමණාකරණය කර ගන්නා ලදී. අරමුදලේ මුදල් වැය කල හැකි අරමුණු1980 අංක 57 දරණ මධ්‍යම සංකෘතික අමරුදලේ පනතේ 08 වන වගන්තියේ සඳහන් වේ.* 08 වගන්තියට අනුව මුදල් වැය කළ හැකි ක්ෂේත්‍ර මෙසේය. සංකෘතික ස්මාරක සංවර්ධනය, ජේතවන දාගැබ යෝජනා ක්‍රමය හා වෙනත් සමාන යෝජනා ක්‍රම වල වියදම් දැරීම, ආගමික කටයුතු ප්‍රවර්ධනය, ආගමික ස්ථාන දියුණු කිරීම, සංකෘතික හා ආගමික ක්ෂේත්‍රවල දියුණුවට සේවය කල තැනැත්තන්ට ප්‍රධානයක් කිරීම, කලාකරුවන්ට ආධාර කිරීම, වෙනත් ආගමික හා සංකෘතික කාර්යයන් සඳහා වියදම් දැරීම.
සජිත් ප්‍රේමදාස මැතිතුමා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස සේවය කල මාස 11 ක කාලය තුළදී මධ්‍යම සංකෘතික අරමුදලේ මුදල් වැය කර සිදු කරන ලද සේවාවන් කිහිපයක් මෙසේය.

  1. දහම් පාසල් ගොඩනැඟිලි ඉදි කිරීම 
  2. පුරාවිද්‍යා ස්ථාන සංරක්ෂණය
  3. පාස්කු පහාරයෙන් විනාශ වූ දේවස්ථාන ප්‍රතිසංස්කරණය
  4. ගරු ස්වාමීන් වහන්සේලා අපවත්වීම් අවස්ථාවලදී ආදාහන කටයුතු සඳහා මුදල් වැය කිරීම
  5. කලාකරුවන්ට ආධාර කිරීම
  6. පෙරහැර සඳහා ආරාධාර ලබා දීම
  7. පුරා විද්‍යා දෙපාර්ථමේන්තුවේ ව්‍යාපෘති සඳහා මුදල් නිදහස් කිරීම.
  8. පුරාවිද්‍යා උපාධිධාරීන් 100 දෙනෙකු ආධුනික පුරාවිද්‍යා නිලධාරීන් ලෙස පුහුණු කිරීම.
  9. සීගිරිය සංවර්ධන කටයුතු 
  10. කූරගල පුදබිම සංවර්ධන කටයුතු
  11. පොළොන්නරුව පුරාවිද්‍යා සංවර්ධන කටයුතු 
  12. දිවයිනේ සියලුම පළාත්/ දිස්ත්‍රික් ආවර්ණය වන ලෙස විවිධ විහාරස්ථාන වල සංවර්ධන කටයුතු
  13. ඓතිහාසික මිහින්තලය සංවර්ධන කටයුතු
  14. කෝවිල් සංවර්ධන කටයුතු
  15. මරදමඩු සිද්ධස්තානයේ සංවර්ධන කටයුතු

16.අස්ගිරි විහාරයේ වාහල්කඩ ඉදිකිරීම

අරමුදල් විසින් 2019 වර්ෂයේදී දරණ ලද සියලුම වියදම් අති ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේලාගේ අනුසාසනය මත ආගමික සංස්කෘතික හා පුරාවිද්‍යා කටයුතු වෙනුවෙන් දරා ඇත. මෙවැනි වියදම් මුදල් කාබාසිනියා කිරීමක් ලෙස අර්ථ ගැන්වීමට උත්සහ කිරීම වර්ථමාන දේශපාඥයින් වැටී ඇති ඛේදනීය තත්වය නිරූපණය කිරීමකි. මෙම අරමුදලේ කිසිම මුදලක් අනවශ්‍ය ප්‍රචාරක කටයුතු හෝ වෙනත් අරමුණු වෙනුවෙන් 2019 වර්ෂය තුලදී අවභාවිතා කර නොමැත. අරමුදල විසින් දරණ ලද වියදම් පිළිබඳව 2019 වර්ෂයට අදාලව විගණකාධිපතිතුමා විසින් අවස්ථා දෙකකදී හෝ තුනකදී විශේෂ විගණනයන් සිදු කර ඇතත් අරමුදලේ මුදල් කාබාසිනියා කල බවක් අනාවරණය කර නැත. පනතේ අරමුණුවලට පරිබාහිරව මුදල් වැය කර ඇති බවට කිසිදු සඳහනක් විගණකාධිපති වාර්ථාවල සඳහන්ව නැත. මේ අනුව කිසිදු මුදලක් පෝස්ටර් ගැසීමට, කටවුට් ගැසීමට වේදිකා තැනීමට හෝ හිතමිතුරන්ගේ යහපත වෙනුවෙන් වැයකර නැත. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ඕනෑම මාධ්‍ය ආයතනයකට නිදහස් මාධ්‍ය වේදීන්ට සහ ඕනෑම පුරවැසියකුට අරමුදලේ ලිපි ලේඛණ ලබා ගෙන පරීක්ෂා කර බැලීමෙන් 2019 වර්ෂය තුළදී සංස්කෘතික අරමුදලේ මුදල් වැය කර ඇත්තේ කුමන කාර්යයන් සඳහාද යන්න මැනවින් අවබෝධ කර ගත හැකිය. ඒ අනුව විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රකාශය විපක්ෂ නායක කාර්යාලය තරයේ ප්‍රතික්ෂේප කරුනු ලැබේ.

කෙසේ වෙතත් මධ්‍යම සංකෘතික අරමුදල් පනතේ අරමුණු වලින් බැහැරව මැයි දිනය සඳහා              T – Shirt මැසීමට, පාපැදි සවාරි පැවැත්වීමට, හෙලිකොප්ටර් වලින් ගමන් යාම වැනි වියදම් අරමුදලේ බලධාරීන් විසින් 2015ට පෙර දරා ඇති බව විගණකාධිපතිතුමා විසින් හෙලිකර ඇත. මේ පිළිබඳ විදුර වික්‍රමනායක මහතාගේ අවධානය යොමු කිරීම සුදුසු බව අපේ අදහසයි.

ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා සංස්කෘතික අමාත්‍යවරයා ලෙස සේවය කල වකවානුවේ අරමුදලේ ඉදිකිරීම් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ගොඩනැගිලි දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නිර්මාණ හා සංවර්ධන  නීති ගත සංස්ථාව වැනි රාජ්‍ය ආයතන මගින් පමණක් ඉටුකරගන්නා ලදි.

එපමණක් නොව ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා සංස්කෘතික අමාත්‍ය ධූරය දරණ ලද කෙටි කාල සීමාව තුලදි ආරම්භ කරන ලද ආගමික, සංස්කෘතික හා පුරා විද්‍යා ව්‍යාපෘති ගණනාවක් වත්මන් පාලනාධිකාරිය විසින් අත්හැර දමා තිබිම මෙරට ශාසනික, සංස්කෘතික හා පුරාවිද්‍යාත්මක ක්ෂේත්‍රයන්ට කරන බලවත් අසාධාරණයකි. වත්මන් පාලනාධිකාරියේ මෙම ක්‍රියාකලාපයෙන් අවැඩක් සිදුවන්නේ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමාට නොව මෙරට බුද්ධ ශාසනයට හා අනෙකුත් ආගම් වලට සහ පුරා විද්‍යා ක්ෂේත්‍රයටයි. එම නිසා වත්මන් පාලනාධිකාරියෙන්  බුද්ධ ශාසන, ආගමික කටයුතු හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් තුමාගෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගෙන් අප ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නේ ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන් විසින් ආරම්භ කරන ලද ව්‍යාපෘති වල්වැදිමට නොදි ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසයි.

එසේම ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා අති විශාල වැඩ කොටසක් සංස්කෘතික ක්ෂේත්‍රයට ඉටු කරමින් අමාත්‍ය ධූරයෙන් ඉවත් වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලේ ස්ථාවර තැම්පතුවල වටිනාකම රුපියල් මිලියන 6033කි.