රාජපක්ෂ ආණ්ඩුව කවදත් මහා මාර්ග සංවර්ධනයට වැඩි කැමැත්තක් දැක්වූවේය. ඒ කැමැත්ත කොතරම්ද කියනවා නම් ඇතැම් රටවල් යටිතල පහසුකම් දියුණු කිරීම සදහා ලබාගන්නා සහනදායී ණය වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය වෙළදපොලෙන් අධික පොලීයට ණය ලබාගෙන මාර්ග සංවර්ධනය කිරීමට පවා කටයුතු කළේය. ඩොලර් අර්බුදයක් පවතිද්දීත්, රටේ ආර්ථිකය ක්‍රමයෙන් කඩා වැටෙමින් තිබියදීත් මහා මාර්ග ලක්ෂයක ව්‍යාපෘතියක් ආණ්ඩුව ආරම්භ කළේ මාර්ග සංවර්ධනයට, ආණ්ඩුවේ කැමැත්ත කොතරම්දැයි යළිත් පෙන්නුම් කරමිනි.
මහාමාර්ග සංවර්ධනය කිරීමට ඇති කැමැත්ත පිටුපස ඇති අදුරු කතාව පසුගිය සතියේදී දේශපාලන කරළියට පමණක් නොව පාර්ලිමේන්තුවටද පැමිණියේය. පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේ මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීම සදහා කොන්ත්‍රාත් ලබාදීමේදී රුපියල් කෝටි දහ අට දහසක වංචාවක් සිදුව ඇති බවය.
මධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර දොලහක කොටසක් මේ වන විට ඉදිකිරීම් කරගෙන යනු ලබන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය විසිනි. ඒ සදහා දේශීය ඉදිකිරීම් සමාගම් කිහිපයක් තමන්ගේ දායකත්වය ලබාදෙයි. මේ වන විට ඉදිකර ඇති අධිවේගි මාර්ග ඉදිකිරීමේ කොන්ත්‍රාත් ලබාගත්තේ විදේශීය සමාගම්ය. චීනයෙන් ණය ආධාර ලබාගෙන අධිවේගි මාර්ග නිර්මාණය කරන විට එම කොන්ත්‍රාත් සියල්ල ප්‍රදානය කළේ චීන සමාගම්වලටය. ඇතැම් අවස්ථාවලදී ණය ගිවිසුම්වලට එය ඇතුළත්වී තිබූ අතර ඇතැම් අවස්ථාවලදී ගිවිසුම්වලට ඇතුළත්ව නොතිබුණත් ණය ලබාදෙන රටටම කොන්ත්‍රාත්තුව ලබාදීමට සිදුව තිබුණි.
එහෙත් සැබෑ ලෙසින්ම අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් කටයුතු සිදුකරන්නේ අදාල විදේශ සමාගම නොවේ. ඒ සදහා දේශීය උප කොන්ත්‍රත් කරුවන් ඔවුන් සොයා ගන්නේය. ඉහළ වටිනාකමකින් යුත් අධිවේගී මාර්ග ඉදිකිරිමේ ටෙන්ඩරය විදේශීය සමාගමකට හිමිවන විට ඊට වඩා අඩු පිරිවැයකින් යුතුව දේශීය සමාගමක් උප කොන්ත්‍රාත්කරුවෙක් ලෙස ඉදිකිරීම් කටයුතු සිදුකරගෙන යන්නේය.
මේ නිසා මාර්ග සංවර්ධන අධිකාරිය හරහා ඉදිකිරීමේ කටයුතු සිදුකරන සමාගම් සදහා දේශීය සමාගමක දායකත්වය ලබාගැනීමට හැකිවිය.
මේ අතර තවත් කිලෝමීටර විස්සක කොටස විදේශීය සමාගමකට ලබාදීම සදහා වන කැබිනට් පත්‍රිකාවක් මහාමාර්ග ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබුණේය. ඒ අනුව පසුගිය වසරේ ජුලි මස 20 වැනි දින කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් ඒ සදහා අනුමැතිය ලබාදුන්නේය. එම කැබිනට් අනුමැතිය හිමිවූයේ දේශීය සමාගමක් සමග එක්ව අධිවේගී මාර්ගයේ ඉදිකිරිම් කටයුතු සිදුකිරීමටය.
එහෙත් මේ වසරේ ජනවාරි 16 වැනිදා යළිත් ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් පසුගිය වසරේ ජුලි 20 වැනිදා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව හකුලාගත්තේය. ඒ නව ටෙන්ඩර් කැදවීමකට සූදානම් වෙමින්ය. ඒ අනුව නව ටෙන්ඩර කැදවීමක් සිදුකළ අතර ඇමැතිවරයාට තමන් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව සති දෙකක්වත් රැක ගැනීමට හැකියාව ලැබුණේ නැත. ජනවාරි 27 වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා තවත් කැබිනට් පත්‍රිකාවක් යොමු කළේ පෙර සතියේ ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව රිවස් කිරීමටය. ඒ අනුව පසුගිය වසරේ ජුලි මාසයේදී ඉදිරිපත් කළ කැබිනට් පති‍්‍රකාව අනුව විදේශීය සමාගමකට සහ දේශීය සමාගමකට ඒකාබද්ධව ඉදි කිරීම් සදහා අවසර ලබාදීමට තීරණය විය.
දූෂණයේ තරම
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා කැබිනට් පත්‍රිකා රිවස් කරන විට අධිවේගි මාර්ග ඉදිකිරීමට අදාල නිලධාරීන්ගේ වෙනස්කම් කිහිපයක්ද සිදුවිය. ඉදිකිරීම් කොන්ත්‍රාත් සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා කමිටුවේ වෙනස්කම් සිදුකර තිබුණේද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් මගින්ය.
‘‘කැබිනට් ඇපොයින්ටඩ් නිගෝෂිඒෂන් කමිටි එකේ සාමාජිකයින් දෙන්නෙක් ඉවත් කරලා අලුතින් තවත් තුන් දෙනෙක් පත් කළා. ඒ කමිටුවේ සාමාජිකයින් සංඛ්‍යාව පහක් දක්වා වැඩි කළා. මේ ආකාරයට කමිටුවේ සංයුතිය වෙනස් කළේ ඇයි? සංයුතිය වෙනස් කිරීමට හේතුව මොකක්ද? මුදල් අමාත්‍යාංශයේ හා අනෙක් අමාත්‍යාංශවල අය මේකට පත් කළේ ඇයි’’ කබීර් හෂීම් මන්ත්‍රීවරයා ප්‍රශ්ණ කරන්නේය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව අනුව නව සාමාජිකයන් වන්නේ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා, කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා, වරාය සහ නාවික අමාත්‍යාංශයේ ලේකම්වරයා, වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාය.
ජොන්ස්ටන් ප්රනාන්දු ඇමැතිවරයාගේ කැබිනට් පත්‍රිකා රිවස්වීීම අතරවාරයේදී මධ්‍යඹ අධිවේගි මාර්ගයේ අධ්‍යක්ෂවරයා තනතුරින් ඉවත් කරන්නේය.
පුටු මාරුවීම් වෙද්දී අධිවේගි මාර්ගයේ කිලෝමීටර විස්සක් ඉදිකිරීම සදහා වැය වන මුදලද මාරු වන්නේය.
‘‘ජොන්ස්ටන් ප්රනාන්දු ඇමැතිවරයාගේ මේ තීරණය නිසා රුපියල් බිලියන 168ක් වැඩියෙන් අධිවේගි මාර්ගයේ ඉදිකිරීම් සදහා වැය කරන්න සිදුවෙලා තියෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 16,800ක මුදලක් වැඩියෙන් වැය කරන්න සිදුවෙලා තියෙනවා’’ කබීර් හෂීම් මන්ත්‍රීවරයා සදහන් කළේය.
ඔහු පවසන්නේ මේ හරහා විශාල ඩොලර් ප්‍රමාණයක්ද රටට අහිමිවන බවය.
‘‘ඩොලර් මිලියන 823ක් වැඩියෙන් ගෙවන්න තමයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. මේ මුදල් රටින් පිටව යන මුදල්. රටේ ඩොලර් හිඟයක් තිබියදී තමයි මේ ආකාරයට මුදල් විදේශ රටවලට යන ආකාරයට කටයුතු කරන්නේ’’ කබීර් හෂීම් ඇමැතිවරයා චෝදනා කරන්නේය.
රුපියල් කෝටි දහසය දහස් අටසීයක් රටට අහිමි කරන කැබිනට් පත්‍රිකාව පිළිබද සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේදි අදහස් දැක්වන විට ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා පැවසුවේ තවමත් විවෘත කර නොමැති ටෙන්ඩර ගනුදෙනුවක් වෙනස් කිරීම හරහා සිදුවන පාඩුව කොතරම්දැයි යන්න කිව හැක්කේ කෙසේදැයි යන්නය.
ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා කෙස් පැලෙන තර්කයක් ඉදිරිපත් කළත්, එම පාඩුව ගැන තොරතුරු අනාවරණය වන්නේ ටෙන්ඩරය ඉදිරිපත් කළ සමාගමක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යොමු කළ ලිපියක් නිසාය. එම්.සී.සී.අයි නම් චීන සමාගමක් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මෙම පාඩුව ගැන දත්ත සහිතව කරුණු ඉදිරිපත් කර තිබුණි