“යුක්තිය” මෙහෙයුමේ සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව ප්‍රශ්න කරමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසන්නේ තෝරාගත් ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම, වැටලීම මෙම මෙහෙයුම හරහා සිදු නොකරන බවයි.

“මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන දේශපාලනඥයන් සිටින බව කවුරුත් දන්නා දෙයක්. ඔවුන්ගෙන් සමහරක් දෙමටගොඩ වැනි ප්‍රදේශවල ක්‍රියාත්මක වෙනවා. වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට සුබ පතමින් පාතාල කල්ලි නායකයෙකු විසින් දැන්වීම් පුවරුවක් සවිකර තිබෙනවා. එහෙම වෙන්නේ කොහොමද? ඇයි? මෙම ප්‍රදේශවල මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ මෙහෙයුම් දියත් කරන්නේ නැද්ද?” ඇය ප්‍රශ්න කළාය.

දේශබන්දු තෙන්නකෝන් මහතා වැඩ බලන පොලිස්පති ලෙස පත් වීමෙන් අනතුරුව ඔහුට සුබ පතමින් දෙමටගොඩ පාතාල කල්ලි නායකයකු විසින් දැන්වීම් පුවරුවක් ද සවිකර ඇති බව පවසන ප්‍රේමචන්ද්‍ර මහත්මිය වැඩිදුරටත් පවසන්නේ එම ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සොයා මෙහෙයුම් සිදු කරන්නේ නැති බවයි.

හිරුනික ප්‍රේමචන්ද්‍ර මහත්මියගේ පියා වන භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාට වෙඩි තබන අවස්ථාවේ වෙඩි තැබූ අනෙක් පුද්ගලයින් සමඟ පිටුපස වාහනයක වත්මන් වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිටි බව මෙහිදී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මාධ්‍ය වෙත පැවසුවාය.