ජනවරමක් නොමැති පිරිසකට ආණ්ඩුව තවදුරටත් ඉදිරියට ගෙන ගිය නොහැකි නිසා බොහෝ විට අප්‍රේල් මාසය තුල මහ මැතිවරණයක් පැවැත්වීමට ඉඩකඩ තිබෙන බවත් පවත්වන ඕනෑම මැතිවරණයකට සමගි ජන බලවේගය මුහුණ දීමටත් මැතිවරණ ජයග්‍රහණය කරීමටත් අවශ්‍ය ජනතා ප්‍රසාදය මේ වනවිටත් වර්ධනය වී ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ඊයේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

“අප්‍රේල් මාසයට පෙර මහ මැතිවරණයක් පැමිණීමට ඉඩකඩ තිබෙනවා. සමගි ජන බලවේගය මහ මැතිවරණය සඳහාත් ජනාධිපතිවරණය සඳහාත් සූදානම්. ඒ මැතිවරණ දෙකෙන්ම සමගි ජනබලවේගය අති විශිෂ්ඨ ජයක් ලබනවා. බිම් මට්ටමේ දැවැන්ත යාන්ත්‍රණයක් තිබෙන්නේ සමගි ජනබලවේගයට පමණයි”

සමගි ජනබලවේගය ප්‍රමුඛ සමගි ජන සන්ධානය නිර්මාණය කරන රජයක් තුළ අසාධාරණ බදු ප්‍රතිපත්තිය සංශෝධනය කරන බවත් සමගි ජනබලවේගය සතුව ආචාර්ය හර්ෂ ද සිල්වා , ඉරාන් වික්‍රමරත්න සහ කබීර් හෂීම් ප්‍රමුඛ කරගත් හොද ආර්ථික කණ්ඩායමක් සිටින බවත් ඒ හරහා ජනතාවට බරක් නොවන බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට සුදානම් බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙහිදී අවධාරණය කර සිටියේය.