ඊයේ (27) දහවල් කාලයේ දී රුහුණු විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති, නිදහස් මාධ්‍යවේදී  ඇන්තනි වේරංග පුෂ්පික   කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට දී රැගෙන ගිය සිවිල් ඇඳුමින් සැරසුන කණ්ඩායම  කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරින් බව වාර්තා වේ.

මේ වනවිට ක්‍රියාත්මක කර ඇති හදිසි නීතිය උපයෝගී කරගෙන සමාජය බිය ගන්වන ආකාරයට ශිෂ්‍ය ක්‍රියාකාරීන් ඇතුළු අරගලයේ ප්‍රමුඛම ක්‍රියාකාරී කණ්ඩායම් වෙත නඩු  පවරමින් තෝර තොරා අත්අඩංගුවට ගැනීම් මාලාවක් ආරම්භ වී ඇති බවත් ඇන්තනි වේරංග පුෂ්පික පැහැර ගැනීමක් නිරූපණය කරන ආකාරයෙන් අත්අඩංගුවට ගැනීම එහි එක් අවස්ථාවක් බවත් ශිෂ්‍ය ක්‍රියාකාරීහු පවසති.

ඇන්තනි වේරංග පුෂ්පික අත්අඩංගුවට ගන්නේ  මැයි මස 19 සහ ජුනි මස 09 වැනි දින කොළඹ කොටුව ප්‍රදේශයේ දී ද ජුනි මස 10 වැනි දින ඉසුරුපාය, බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී ද අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණ පැවැත්වීම, අයුතු ජන රාශියක සාමාජිකයෙකු වීම, පොලිස් නිලධාරින්ට සාපරාධී බලහත්කාරය පෑම, රජයේ දේපොළවලට හානි සිදු කිරීම යන චෝදනා එල්ල කරමිනි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු 27 හැවිරිදි ගාලු පාර – දොඩම්දූව ප්‍රදේශයේ පදිංචි ඇන්තනී වේරංග පුෂ්පික ද සිල්වා බවය.

මෙම සැකකරු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ගොස් වැඩිදුර විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

ඔහු රුහුණු විශ්වවිද්‍යාලයේ කැඳවුම්කරු ලෙස කටයුතු කර ඇති බවත් දැනට මොහුගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යභාවය අහෝසි කර ඇති බවත් පවසන පොලිසිය  ඔහුව   අද (28) දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පවසයි.