පොලි රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමය අපෙක්ෂිත දරුවන්ට ලංකා බැංකුවෙන් තවම අවසරය ලබාදී නොමැති බවත් ඒ පිළිබඳව අධ්‍යාපන ඇමැතිවරයාට ප්‍රකාශ කළ බවත් එම ණය යෝජනා ක්‍රමයෙන් ණය ලබාගත් ශිෂ්‍යයින් 200 ක් ණය ආපසු ගෙවීම පැහැර හැරීමක් සිදුවන බව පවසා 8 වැනි කණ්ඩායමට පොලි රහිත ණය ලබාදීම නතර කර තිබෙන බවත් මේ සඳහා අධ්‍යාපන ඇමැතිවරයාට මැදිහත් වන්නැයි ඉල්ලා සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ස්වශක්තියෙන්, ස්වඋත්සාහයෙන් සමාජයේ හොද ආදායම් මාර්ගයක් නිර්මාණය කරගැනීමට කටයුතු කරන උසස් අධ්‍යාපනයට උනන්දුවක් දක්වන තරුණ තරුණියන්ට ලබාදෙන පොලි රහිත ණය වැඩසටහන අත්තනෝමතික ආකාරයට අත්හිටුවීම රටේ තරුණ තරුණියන්ට සිදුකරන බරපතල අසාධාරණයක් බවත්
සජිත් ප්‍රේමදාස මහතා කීය.

අධ්‍යාපන ඇමැතිවරයා මේ පිළිබඳව ප්‍රගතිශීලීව කටයුතු කර ඇති බවත් නමුත් ඇමැතිවරයාගේ නියෝග අනුව කටයුත් නොකර බලවත් නිලධාරීන් ඔවුන්ට අවශ්‍ය පරිදි කටයුතු කිරීම පිළිබඳව කණගාටු වන බවත් විපක්ෂ නායකවරයා හෙතෙම සඳහන් කළේය.

පැරණි සිසුන් කළ වරදකට අලුතින් පොලි රහිත ණය ලබාගන්න සිසුන්ව ගොදුරක් බවට පත් නොකරගන්නැයි ලංකා බැංකු සභාපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මේ සම්බන්ධයෙන් වහාම මැදිහත් වීම පියවරක් ගන්නැයි අධ්‍යාපන ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මෙය සිසුන්ට සිදුකරන අසාධාරණයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේය.